ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අධිකරණ නියෝග කැඩීමට 'ඉඩ දෙන්නේ නෑ'

අධිකරණ තහනම් නියෝග කඩ කරමින් මැයි දින පෙළපාලි පැවැත්වූ වෘත්තීය සමිති නායකයින් අත් අඩංගුවට නොගැනීම පිළිබඳව කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිසිය දෝෂදර්ශනයට ලක් කළේය.

කොළඹ, හයිඩ් පිටියේ සහ ඊට යාබද මාර්ගවල මැයි දින පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් අධිකරණය ඉකුත් අප්‍රේල් 31 වනදා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙත තහනම් නියෝගයක් නිකුත්කොට තිබුණි.

එම තහනම් නියෝගය කඩ කරමින් පෙළපාලි දැක්වූ බවට චෝදනා කරමින් අදාළ සන්ධානයේ ජෝසප් ස්ටාලින්, සමන් රත්නප්‍රිය සහ කේඩී සිරිසේන යන නායකයින්ට එරෙහිව පොලිසිය ගොනු කළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි, මහේස්ත්‍රාත්වරයා පොලිසිය දෝෂදර්ශනයට ලක් කළේ.

කිසිදු අවස්තාවක අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් කටයුතු නොකළ බව එක් චුදිතයකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේය.

'අපහාස කළේ නෑ'

"අපි අධිකරණයට ගරු කරනවා. කිසිදු අවස්තාවක අධිකරණයට අපහාසාත්මක දේවල් කළේ නැහැ.පොලිසිය එල්ලකරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

කෙසේ නමුත් තමන් නිකුත් කල නියෝගයක් උල්ලංඝනය කිරීමට තමා කිසිවකුටත් ඉඩ නොදෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කිසිවෙකුටත් අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, සිය නියෝග කඩකළ විත්තිකරුවන් සිද්ධිය වූ අවස්ථාවේදීම අත් අඩංගුවට ගෙන ඉදිරිපත් නොකිරීම පිළිබඳව පොලිසියට දෝෂාරෝපණය කළේය.

ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් පොලිසිය, අදාළ වරද පිළිබඳව පසුදාම අධිකරණයට කරුණු වාර්තා කළ බව කියා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණය තමන් ඇප මත නිදහස් කිරීමට තීන්දු කළ බවයි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

වැඩිදුර විමසීම ජුලි මස 14 වනදාට කල් දැමූ අධිකරණය එදිනට විත්තිකරුවන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.