ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සරසවි සිසුන්ට පහර දුන්නේ නැහැ: ඇමති සනත්

ලබන වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු විශ්ව විද්‍යාලය තුල පැවැත්වීමට සිසුන් පල කළ විරෝධයට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබු අතර එම උද්ඝෝෂණය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඇතුළු පිරිසක් විසින් මෙහෙයවූ මැර කණ්ඩායමක් විශ්ව විද්‍යාලය තුලට පැන තමන්ට පහර දුන් බවට ශිෂ්‍යයෝ චෝදනා කරති.

පොලු මුගුරු රැගෙන විශ්ව විද්‍යාලයට කඩා වැදුණු පිරිසක් සිසුන්ට පහර දීමට තැත් කිරීමත් සමග ඇති වූ නොසන්සුන්තාව සමග අධ්‍යාපන බලධාරීන් රුහුණු විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටද තීරණය කරණු ලැබිණි.

Image copyright Students Union of Universtity of Ruhuna
Image caption පහර දීමෙන් අනනතුරුව රුහුණු විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ

දැයට කිරුළ ප්‍රදර්ශනය තම ප්‍රදේශයේ පවත්වන ලෙස ඉල්ලා රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විසින් පැවැත්වූ විරෝධයට ඔවුන්ගේ පළාතේ මන්ත්‍රීවරයා ලෙස තමන් සම්බන්ධ වී සහයෝගය පළ කලත් පහර දීමට තමන් කිසි සේත් සම්බන්ධ නැති බවයි නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසන්නේ.

සිසුන්ට පහර දීමට සම්බන්ධ වූ බවට එල්ල වන චෝදනාව පිළිබඳ සංදේශය කළ විමසීමක දී නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය කියා සිටියේ කිසිවකුටත් පහර දීමට ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

'පහර දුන්නේ නෑ'

එම ස්ථානයට යාමට හේතුව පැහැදිලි කළ නියෝජ්‍ය ඇමතිවරයා: "දැයට කිරුළ පවත්වන්න තීරණය කර තිබුණේ අපේ ගමේ. අපේ ගම්වල සියලු දෙනා අශාවෙන් සිටියා දැයට කිරුළ මේ ස්ථානයේ තියන්න කියලා. මේ ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගියා කියන දේට තමයි උද්ඝෝෂණය කළේ. මමත් ගමේ කෙනෙක් හැටියට එකට සම්බන්ධ වුනා. කිසිවකුට පහර දෙන්න වත් තර්ජනය කරන්න වත් කියලා නෙමෙයි එතනට ගියේ. අපේ ගමට මේක දෙන්න කියලා කියන්න තමයි ගියේ," යනුවෙන් වැඩි දුරටත් කියා සිටියි.

කිසිම අවස්ථාවක සිසුන්ට පහර දීමට ජනතාව පෙලඹ වූ නැති බව පවසන නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පහර දීම සිදු වූ බව පවසන අවස්ථාවේ ඔහු එම ස්ථානයේ නොසිටි බවයි කියා සිටියේ.

Image copyright JVP
Image caption 'ගමේ යැයි කියා ගන්න ඇමතිවරයා සහ පිරිස ගේට්ටුවලින් පැනලා ඇතුළට ගිහිල්ලා ශිෂ්‍යයන්ට පහර දෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ'

දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාලයේ නො පැවැත්වීමට තීරණය කල ආණ්ඩුවට විරෝධය පල නො කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විරෝධය පල කිරීම පිළිබඳ බීබීසී යට අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා: "ආණ්ඩුව එක ගෙනිච්චේ මේ ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණය හින්දා, එක තමයි රුහුණ සරසවියෙන් අයින් කර ගන්න හේතු වෙන්න ඇත්තේ, ජනතාවට හිතුණේ එහෙමයි. ජනතාව ආණ්ඩුවට දැනුවත් කරලා කිව්වේ නෑ මේක මෙතැනට දෙන්න කියලා. අපි අද වනතුරුත් බලාපොරොත්තු වෙනවා මේක මාතරට දෙයි කියලා" යනුවෙන් බීබීසී සංදේශයට කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අෂාන් විජේලත් පැවසුවේ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන් පිරිසක් මෙම ප්‍රහාරය පිටු පස සිටින බවයි.

'පොලිසිය බලා සිටියා'

"රන්ජිත් සියඹලාපිටිය ඇමතිවරයා කියනවා දැයට කිරුළ රුහුණු විශ්වවිද්‍යාලයේ තියන්නේ නැහැ කියලා. සනත් ජයසූරිය අමාත්‍යවරයා කියනවා තියනවා කියලා, ඒගොල්ලෝ දේශපාලන වාසි සඳහා මැරයන් දාල ශිෂ්‍යයන්ට පහර දෙනවා," යනුවෙන් වැඩි දුරටත් පැවසුවේය.

දැයට කිරුළ ප්‍රදර්ශනයට විරුද්ධ එය දුප්පත් ජනතාවගේ මුදල් වියදම් කරමින් පවත්වන මාධ්‍ය සංදර්ශනයක් පමණක් නිසා බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.

සිසුන්ට එල්ල වූ ප්‍රහාරය දැඩි හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සනත් ජයසූරිය නියෝජ්‍ය මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි.

"සිසුන්ට පහර දීම වළක්වන්න පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ගමේ යැයි කියා ගන්න ඇමතිවරයා ඇතුළු පිරිස ගේට්ටුවලින් පැනලා ඇතුළට ගිහිල්ලා ශිෂ්‍යයන්ට පහර දෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියි.

ලෝකයේ කිසිදු විශ්ව විද්‍යාලයක මෙවන් සංදර්ශන පවත්වන්නේ නැති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා, රන්ජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රදර්ශනය රුහුණ විශ්වවිද්‍යාලයේ නො පවත්වන්නේ මාර්ග ප්‍රශ්නයක් නිසා බව පවසා ඇති අවස්ථාවක දැයට කිරුළ මුවාවෙන් සිසුන්ට පහර දෙන්නේ සිසුන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා බවයි පේනවා දුන්නේ.