නේපාල ක්‍රිකට් අර්බුදයක

Image copyright AFP
Image caption නේපාල ක්‍රිකට් පුහුණුකරු පුබුදු දසනායක

නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ හට ගත් මතභේදයක් හේතුවෙන් කණ්ඩායමේ පුහුණුකරු පුබුදු දසනායක නේපාලයෙන් පිටත් ව ගොස් තිබේ.

නේපාල කණ්ඩායම පසුගියදා පළමු වරට ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ පුබුදු දසනායක නේපාල කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාර ගැනීමෙන් අනතුරුවයි.

එහෙත් නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර පවතින මතභේදයක් හේතුවෙන් පුබුදු දසනායක තව දුරටත් නේපාලයේ රැඳී සිටින්නේද යන්න පිළිබඳ ව්‍යාකුල තත්වයක් ඇතිව තිබෙන බවයි, බීබීසී නේපාල භාෂා අංශයේ ක්‍රීඩා වාර්තාකරු නිරන්ජන් රස්බන්සි බීබීසී සංදේශයේ තිසර රතුවිතාන කළ විමසීමකදී කියා සිටියේ.

පුබුදු දසනායක නේපාල පුහුණු කරු ලෙස පැමිණීමත් සමග නේපාල ක්‍රිකට් කණ්ඩායම දියුණු තත්වයකට පත් වූ බවත් දැනට නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා ඔහු ජනප්‍රියත්වයක් උසුලන බව පවසන බීබීසී වාර්තාකරු තව දුරටත් ප්‍රකාශ කළේ පාලක මණ්ඩලයේ ඇතැම් පුද්ගලයින් මේ සම්බන්ධයෙන් කැමැත්තක් නො දක්වන බවයි.

වැටුප ගැන මතභේදයක්

මෙම තත්වය ඇතිවීමට තවත් හේතුවක් ලෙස පුහුණුකරුගේ වැටුප සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව බලපෑ බව නිරන්ජන් රස්බන්සි පවසයි.

මසකට ඩොලර් පන්දහසක් වූ පුබුදුගේ වැටුප ලෝක කුසලානය වෙනුවෙන් නේපාල ක්‍රිකට් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කිරීමෙන් පසු ඩොලර් අට දහස දක්වා ඉහල දැමූ නමුත් තව දුරටත් එතරම් ඉහල වැටුපක් ගෙවීමට නො හැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.

නමුත් ඊට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලය තුල පවතින බෙදුම්කාරී තත්වය තදින් ම බලපෑ බව පවසන නිරන්ජන් රස්බන්සි, මහ ලේකම් වරයාට හිතවත් කණ්ඩායම පුහුණුකරුට අකමැති බවත් තම කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව පුබුදු බව ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසන බවත් විස්තර කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර