ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පුත්තලමේ කිඹුල් දූපත ධීවරයන්ට තහනම්

කල්පිටිය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි රැහැන් පුත්තලම කලපුව හරහා ගෙන යාමට විරෝධය පළ කරමින් යලිත් වරක් පුත්තලම කළපුවේ පිහිටි කිඹුල් දූපත වැටලූ ධීවරයන් දූපතට ඇතුළු වීම නාවික හමුදාව විසින් වලක්වනු ලැබිණ.

ලක්විජය ගල් විදුලි බලාගාරයේ තෙවන අදියරේ නිෂ්පාදනය කරන විදුලිය අනුරාධපුරය දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය අධි බලැති විදුලි රැහැන් හා කණු පුත්තලම කළපුව හරහා ගෙන යාම මගින් සිය ජීවිකාව විනාශ කෙරෙන බව ධීවරයන්ගේ චෝදනාවයි.

බෝට්ටු වල නැගුන ධීවරයන් වැලැක්වූ නාවික හමුදාව, දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ සංවිධායක රත්න ගමගේ, පුත්තලම ජනතා හඬ සංවිධානයේ කැඳවුම්කරු සමන්ත කෝරලගේ යන තිදෙනාට සහ මාධ්‍යවේදීන්ට පමණක් දූපතට ඇතුළුවීමට අවසර දුන්නේය.

විදුලි රැහැන් ඇදීමේ කාර්යයට ආරක්ෂාව සැපයීම පමණක් තමන්ට පවරා තිබෙන බව සඳහන් කළ නාවික හමුදාවේ කල්පිටිය කදවුරේ අණ දෙන නිළධාරී මනෝජ් ලීලාරත්න, වැඩි විස්තර විදුලි බල මණ්ඩලයෙන් විමසන ලෙස ඉල්ලා සිටියේය.

කළු කොඩි ඔසවාගෙන කළපුවේ පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූ ධීවරයෝ ගොඩබිමට පැමිණ ආගමික වතාවත් වල නිරත වෙමින්, කලපුවේ ධීවර විරෝධය නොතකා කරන කටයුතු සියල්ල ඉටු නොවෙන ලෙස දෙවියන්ගෙන් ඇයද සිටි බව ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

කතානායක චමල් රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීම සඳහා ධීවරයෝ පෙත්සමකටද අත්සන් තැබූහ.