කුරාම් ෂයික් නඩුවේ විත්තියෙන් පොලිසියට චෝදනා

Image caption ප්‍රධාන විත්තිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ පතිරණ රිමාන්ඩ් භාරයේ

කුරාම් ෂයික් ඝාතන නඩුවේ ප්‍රධාන සාක්කිකාරියගෙන් දෙවරක් කට උත්තර සටහන් කර ගැනීම තුළින් රහස් පොලිසිය තමන්ට අවශ්‍ය ආකාරයට නඩුවක් ගොතා ඇතැයි විත්තියේ නීතිවේදීහු කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කරති.

විත්තියේ නීතිවේදීන් කියා සිටියේ රහස් පොලිසියට පරීක්ෂණ පැවරීමට පෙර තංගල්ල පොලිසිය මරණය සිදු වූ හෝටලයේ කලමණාකාරියගෙන් කට උත්තරයක් සටහන් කර ගෙන තිබූ බවයි.

රහස් පොලිසිය එම සාක්කිකාරියගෙන් නැවතත් කට උත්තරයක් සටහන් කර ගෙන ඇත්තේ පළමු කට උත්තරයේ තිබූ අඩුපාඩු ඉවත් කොට විත්තිකරුවන්ට එරෙහිව ප්‍රබල නඩුවක් ගොඩ නැගීමේ අරමුණින් බවයි එම නීතිවේදීන් තර්ක කර සිටියේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

'නඩුවක් ගෙතීම'

‘අපි සටහන් කර ගත්තේ සාක්කිකරුවන් ප්‍රකාශ කල දේ පමණයි. අලුතින් කරුණු කට උත්තරවලට ඇතුළත් කලේ නැහැ.’යි පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා, නඩුවක් ගෙතීමේ අවශ්‍යතාවක් තමන්ට නොතිබූ බව ප්‍රකාශ කළේය.

විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ තමන් කුරාම් ෂයික් මිනීමැරුම සිදුවූ හෝටලය වෙත ගිය අවස්ථාවේ එහි ඉදිරිපස පොලිස් ආරක්ෂාවක් යොදා තිබුනද අපරාධය සිදුවූ ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නොතිබූ බවයි.

හතර වන විත්තිකරු වූ ප්‍රගීත් චතුරංග අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශ මත, වළ දමා තිබූ ගිනි අවියක් සොයා ගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේය.

ගිනි අවිය

සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයා ගත් පාවිච්චි කරන ලද වෙඩි උන්ඩ විත්තිකරුවන් භාරයේ තිබී සොයා ගන්නා ලද ගිනි අවියෙන් පිට වූ ඒවා බවට සනාථ වී ඇති බව රස පරීක්ෂක මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

සාක්කිකරුවන්ගේ කට උත්තර සටහන් කිරීමේ දී ඇතැම් අවස්ථාවල පොලිස් රෙගුලාසි උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව පිළිගත් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් ද මිනිසුන් නිසා එවැනි අතපසුවීම් සිදු විය හැකි බවයි කියා සිටියේ.

වෙඩි තැබීමක් හෝ ස්ත්‍රී දුෂණයක් පිළිබඳව තොරතුරු තම පරීක්ෂණ වලදී අනාවරණය නොවූ බවද සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ පැවසීය.

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ පතිරණ රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇති අධිකරණය සෙසු විත්තිකරුවන් පස් දෙනා ඇප මත මුදා හැර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර