‘ලෝඩ්ස්’ පිටියෙන් ශ්‍රී ලංකා පිළට සහතිකයක්

සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද ආකාරය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණයට එරෙහිව යාමක් සිදුව නැතැයි එංගලන්තයේ ‘මාර්ලිබන්’ ක්‍රිකට් සමාජය පවසයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බර්මිංහැම් නගරයේ පැවැත්වුන පස් වන සහ අවසන් එක් දින තරඟයේදී පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද්දේ ඔහු විකට්ටුවෙන් පිටත රැඳී සිටියදී කඩුල්ල බිඳ හෙළමින්.

එවැනි අවස්ථාවක ක්‍රීඩකයකු දවාලීම ක්‍රිකට් ලෝකයේ හඳුන්වනු ලබන්නේ ‘මන්කාඩ්’(Mankad) යනුවෙනි.

‘මන්කාඩ්’(Mankad) දවාලීම ක්‍රිකට් ක්‍රීඩා නීතියට අනුකූල නමුත් එම සිද්ධිය ක්‍රිකට් ලෝකයේ බලවත් සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත.

සචිත්‍ර සේනානායක බට්ලර් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව් විසින් තහවුරු කරනු ලැබීම විවේචනයට ලක් වෙමින් ඇතත් එමගින් වරදක් සිදුව නැති බවයි එම්.සී.සී ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

Image copyright AFP
Image caption සචිත්‍ර සේනානායක

‘මාර්ලිබන්’ ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ, ජොස් බට්ලර් දවා ලූ ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා නීතිය උල්ලංඝනය වීමක් සිදුව නැති බවයි.

බට්ලර් දවා ලනු ලැබීමට පෙර සචිත්‍ර සේනානායක එංගලන්ත පිළේ පිතිකරුට පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබුණ බවත් එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය සිහිපත් කරයි.

‘බර්මිංහැම්’ තරඟයට පෙර ලන්ඩන් නගරයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ පැවති එක් දින තරඟයේ දීත් ජොස් බට්ලර් කඩුල්ලෙන් පිටත රැඳී සිටීමේ කාරණය මතු වූ බව දැන ගැනීමට ඇති බවත් එම්.සී.සී ප්‍රකාශකයෙක් කියා සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනය අයත් වන්නේ එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජයටයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර