කළුතර ගංවතුර: තවමත් දහස් ගණනක් 'කොටුවෙලා'

Image caption අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පිරිස 110,743 ක්

බුලත්සිංහල ආසනයේ කුඩලිගම, ඉහල කුඩලිගම, ඉද්දගොඩ වැනි ගම්වල දෙදහසකට ආසන්න පවුල් තවමත් සම්පූර්ණයෙන්ම ගංවතුරට කොටු වී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

දහස් ගණනක පිරිසක් දින ගණනාවක් මුළුල්ලේ මෙසේ කොටු වී සිටියත් ප්‍රදේශයේ දේශපාලන නායකයන් ඇතුළු බලධාරීන් ගෙන් මෙතෙක් පිහිටක් නොලැබුන බවත් කුඩලිගම වැසියකු වන කෝලන්කාගේ ලක්ෂ්මන් සුසන්ත කුඩලිගම සංදේශයට කියා සිටියේය.

"රජයෙන් කියල කිසිම මැදිහත්වීමක් වුනේ නැහැ. කෑම පැකට් දවස් තුනක් බෙදුව කැප්ටන් කුඩලිගම කියල කෙනෙක්. ග්‍රාමසේවක හරහාත් එක දවසක්ද කොහෙද කෑම පැකට් හම්බ වෙලා තිබුණ. ඇමතිවරු පස් දෙනෙක්ද කොහෙද කාර්යාල දාල තිබුන ඡන්ද කාලේ මේ ගමේ," යනුවෙන්ද ඔහු පැවසීය.

ගමේ වතුර බැස යාමට තවත් දින හතරක් පමණ ගත වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ආධාර 'සිංහල වැසියන්ට'

"දේශපාලනඥයෝ කියල කිසිම දෙයක් කළේ නෑ. එකම දේ කළේ ජනතා විමුක්ති පෙරමුණේ දොස්තර නලින්ද ජයතිස්ස මහත්තය. ඒ මහත්තය ඊයේ දොස්තරවරු එක්ක ඇවිල්ල වෛද්‍ය සායනයක් කළා," බවද සුසන්ත කුඩලිගම වැඩිදුරටත් පැවසීය.

මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමතූ අවස්ථාවේ ඒ මොහොතේත් තමන් ආධාර බෙදා දෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා පසුව අමතන මෙන් සංදේශයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ගංවතුරෙන් බරපතල හානිවලට ලක් වූ බුලත්සිංහල වෙයන්ගල්ල මුස්ලිම් මහා විද්‍යාලය ලබන සතියේ යලි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි පාසලේ විදුහල්පතිවරයා බලාපොරොත්තු පළ කරයි.

Image caption කුඩලිගම, ඉහල කුඩලිගම, ඉද්දගොඩ වැනි ගම් 'තවමත් කොටු වෙලා'

කෙසේ නමුත් ගංවතුරෙන් දැඩි පීඩාවට පත් ගම්වැසියන්ට තවමත් ලැබෙන්නේ පුද්ගලික ආධාර පමණක් බවත් විදුහල්පති මොහමඩ් සාලි අහමඩ් වාරිස් බීබීසී සංදේශයට පැවසීය.

පරිත්‍යාගශීලීන් ගෙන් මුස්ලිම් වැසියන්ට ලැබෙන ආධාර ඔවුන් ගමේ වෙසෙන සිංහල පවුල් 139 ක් වෙත බෙදා දුන් බවද විදුහල්පති මොහමඩ් වාරිස් සඳහන් කළේය.

මීට දින හතරකට ඉහතදී ආරම්භ වූ ධාරානිපාත වැසි සහ නායයාම් හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක 26 දෙනකු මරුමුවට පත් වී ඇති අතර, එක් අයකු අතුරුදහන්ව තවත් දස දෙනකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පිරිස 110,743 ක්.

වැඩිදුර විස්තර විමසීම පිණිස ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර