මුස්ලිම් අතුරුදහන් වූවන් ගැන කොමිසම හමුවේ

මඩකලපුවේ කුරුක්කල්මඩම්හි දී එල්ටීටීඊ ය විසින් පැහැර ගන්නා ලද පුද්ගලයන්ට සිදු වූ දෙයක් තවමත් දැන ගැනීමට නොමැති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

ඔවුන් ඒ බව කියා සිටියේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම අද කාත්තන්කුඩිහි දී සාක්ෂි විභාගය ආරම්භ කළ අවස්ථාවේ.

කොමිසම මුස්ලිම් ප්‍රදේශයක සාක්ෂි විමසන පළමු වතාව මෙයයි.

පැහැර ගැනීමට ලක් වූවන්ගේ පවුල්වල බොහෝ ඥාතීන් කොමිසමට කරුණු කියා පෑමට කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි බවයි, බීබීසී සංදේශය වෙනුවෙන් වාර්තා කරන ශාන්ති සෙල්වදුරෙයි පවසන්නේ.

කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බොහෝ දෙනා මුස්ලිම් ජනතාව බවත් ඔවුන් 1990 ජූලි හත් වෙනි දින මඩකලපුවේ කුරුක්කල්මඩම්හි දී පැහැර ගැනීමට ලක් වූවන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් ශාන්ති සෙල්වදුරෙයි පවසයි.

වසර විසිහතරක් සැමියා සොයා

එම සිද්ධියේදී එකසිය හැත්තෑ පස් දෙනකු පමණ මරා දැමුණ බවයි සාක්ෂිකරුවන් කියා ඇත්තේ.

මොහමඩ් කාසිම් මොහමඩ් හනීෆා පවසන්නේ,1990 සිද්ධියේදී ඔහුගේ සහෝදරයන් දෙදෙනකු අහිමි වූ බවයි.

හතළිස් අට හැවිරිදි ෂාබියා උම්මා පවසන්නේ තමාට තම පියා අහිමි වූ බවයි.

තවත් කාන්තාවක් කියා සිටියේ තමා 1990 දී අතුරුදහන් වූ තම සැමියා තවමත් සොයන බවයි.

තවත් සාක්ෂිකරුවන් කියා සිටියේ මව්පියන් සහෝදර සහෝදරියන් හෝ වෙනත් කවුරුන් හෝ ඥාතියකු තමන්ට අහිමි වූ බවයි.

සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ පැවැත්වෙන සාක්ෂි විභාගයට එකසිය දෙදෙනකු කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවත් ශාන්ති සෙල්වදුරෙයි පවසයි.

ඉරිදා සහ සඳුඳා මන්මුනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද කොමිසම සාක්ෂි ලබා ගැනීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර