යෝජිත බීජ පනත කාට ද?

Image copyright AP

යෝජිත බීජ හා රෝපණ පනත ආන්දෝලනාත්මක දේශපාලන මාතෘකාවක් බවට පත් වී ඇත. නව පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ගොවි සංවිධාන අතර එකඟතාවයක් නොමැති බවයි පෙනී යන්නේ.

පනතේ අරමුණ හැටියට ප්‍රකාශ කර තිබෙන්නේ බීජ සංරක්ෂණ අයිතිය සම්බන්ධ පූර්ණ බලතල රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැවරීමයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා සිටියේ, අතීතයේදී ගොවීන් විසින් ඔවුන්ට අවශ්‍ය බීජ සම්පාදනය කර ගනු ලැබුණ නමුත් වර්තමාන වාණිජකරණය යටතේ එම තත්වය වෙනස් වී ඇති හෙයින් එම උවමනා සම්පූර්ණ කිරීමට බීජ පනතක් අවශ්‍ය කරන බවයි.

බීජ සංරක්ෂණය

Image copyright Pic by Thakshial Dilrukshi
Image caption ගොවියාගේ අයිතිය ඉල්ලමින්

එහෙත් යෝජිත බීජ පනත සම්බන්ධයෙන් ගොවි ජන නියෝජිතයන් දරන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අදහසකි.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න බීබීසී සංදේශයට කියා සිටියේ, යෝජිත පනත ගොවි ජනතාව බහුජාතික සමාගම් වලට බැඳ තැබීමේ උපාය මාර්ගයක් වන බවයි.

“මේ පනතේ පදනම බීජ සංරක්ෂණය නොව බීජ ආධිපත්‍යය බහු ජාතික සමාගම් වලට පැවරීම. අපි පනත අනුමත කරන්නේ නැහැ. මේ පනත හකුලා ගත යුතුයි” නාමල් කරුණාරත්න කියා සිටියි.

“අතීතයේ අපට වී වර්ග තුන්දාහකට වැඩි ප්‍රමාණයක් තිබුනා. ඒත් දැන් තියෙන්නේ හැත්තෑපහකට අඩු ප්‍රමාණයක්. සාම්ප්‍රදායික එළවලු සහ පළතුරු වර්ග වඳ වුනා. අද අපට ලැබෙන්නේ බහු ජාතික සමාගම් විසින් නිකුත් කරනු ලබන බීජ වර්ගයි.එම බීජ වලින් හට ගන්නා බෝගවලින් දෙවන බීජ පරම්පරාවක් බෝ කර ගන්න බැහැ” සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායකයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද පැපොල් ඇට බීජ කිලෝවක් රුපියල් ලක්ෂ අටක් මිල වන බවත් ඔහු පෙන්වා දෙයි.

හකුළා ගත යුතු පනතක්

බීජ පනත ගොවීන් සතු බීජ අයිතිය උදුරා ගැනීම බවට එල්ල වෙන විවේචන වලට පිළිතුරු දෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න පවසන්නේ, පාරම්පරික බීජවල අයිතිය ගොවීන් සතු බවයි.

Image copyright med.gov.lk

එහෙත් එම බීජ සංරක්ෂණය කළ යුතුව ඇතැයි පවසන ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න බීජ අයිතිය ගොවියා අතම තිබිය යුතු බව පිළි ගනී.

ගොවියාගේ අයිතිය සහතික කිරීම නොව මෙවැනි වැඩ පිළිවෙලවල් පිටුපස කොමිස් ගනුදෙනු ඇති බවයි, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගේ අදහස වන්නේ.

“බීජ පනත සමඟ වතුර පනතක් එනවා. බීජ ,වතුර සහ ඉඩම් බහු ජාතික සමාගම්වලට යට කිරීමේ මහා සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙහි ප්‍රතිවිපාකය ගොවියා ඔහුගේ ඉඩමේම වැටුප් ශ්‍රමිකයකු බවට පත් වීමයි ” නාමල් කරුණාරත්න අනතුරු අඟවයි.

එම අනතුරු ඇඟවීම බැහැර කරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න බීජ පනත බීජ සංරක්ෂණය කිරීමේ පියවරක් වන හෙයින් ඊට විරුද්ධ විය යුත්තේ ගොවීන් නොව බහු ජාතික සමාගම් වන බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර