ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සරණාගතයින්ට ක්‍රිකට් ක්‍රීඩාවේ පිහිට

‘ඕෂන් 12’ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන සබර්බන් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දස්කම් දක්වන බව වාර්තා වේ.

අනවසරයෙන් සංක්‍රමණය වූ දෙමළ ජාතික තරුණයන්ගෙන් සමන්විත ‘ඕෂන් 12’ කණ්ඩායම මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය වෙනුවෙන් තරග වැදීමට සුදානම් වෙයි.

ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට උත්සාහ දරන මෙම සරණාගත තරුණයෝ බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර දැනට සංක්‍රමණික රැඳවුම් කඳවුරු වලින් පිටත තාවකාලික බලපත්‍ර මත ජීවත් වෙති.

කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරන උදය කුමාර් තම අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ තමන්ට නැවතත් ශ්‍රී ලංකාවට යාමට නො හැකි බවයි.

යුද කාලයේ දී තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් වලින් ඇතිවූ ශාරීරික කැළැල් මෙන් ම මානසික බිඳ වැටීම තවමත් පවතින බව පවසන විසි හය හැවිරිදි උදය කුමාර් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 2012 ඔක්තෝබර් මාසයේ.

තමන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඇති අවදානම නිසා මුහුණ පා සිටින ආතතිය අඩු කර ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම බෙහෙවින් ඉවහල් වන බව ‘ඕෂන් 12’ ක්‍රිකට් ක්‍රීඩකයෝ පවසයි.

කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමෙන් තමනුත් ඕස්ට්‍රේලියානු ජන සමාජයේ කොටසක් ලෙස දැනෙන බවයි ඔවුන් පවසන්නේ.