ලිංගික හිංසන සමුළුවට ලංකාවට 'ආරාධනා නෑ'

Image copyright Rahul Tiwari for BBC
Image caption ගෝලීය සමුළුව ලිංගික හිංසනයට තිත තැබීම සඳහා ප්‍රායෝගික පියවරක් ගැනීමට සංවිධානය කළ 'දැවැන්ත උත්සාහයක්'

ලිංගික හිංසනය තුරන් කරමු මැයෙන් ලන්ඩනයේදී අඟහරුවාදා ආරම්භ වන ගෝලීය සමුළුවට සහභාගි වන මෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක් ලැබී නැති බව බලධාරීහු පවසති.

සමුළුවේදී ප්‍රකාශයට පත්වීමට නියමිත යුද ගැටුම්වලදී ලිංගික හිංසනය පිටු දැකීම සම්බන්ධ ප්‍රකාශනයට අත්සන් නොතැබීම හේතුවෙන් සමුළුවට සහභාගි වන මෙන් ශ්‍රී ලංකාවට ආරාධනාවක් ලැබී නැති බව ලන්ඩනයේ සිටින නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා කියා සිටියේය.

ආරාධනා නොකිරීම පිළිබඳව තමන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයෙන් විමසීමක් කළ බව සඳහන් කළ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ප්‍රකාශනයට අත්සන් තැබූ රටවලට පමණක් බව ආරාධනා කරන ලද බව එහිදී තමන්ට දැනුම් දුන් බවත් සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේය.

රටවල් 149 ක් එම ප්‍රකාශනයට අත්සන් තබා තිබෙන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා බීබීසී සංදේශයට පැවසීය.

ලබන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන මෙම ගෝලීය සමුළුවේ මූලාසනය හොබවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක් වන ජනප්‍රිය සිනමා නිලි ඇන්ජලීනා ජොලී සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් විසින්.

දැවැන්ත පියවරක්

ශ්‍රී ලංකාව සමුළු ප්‍රකාශනයට අත්සන් නොතැබුවේ මන්දැයි සංදේශය කළ විමසීමකට ප්‍රතිචාරය පළ කළ නියෝජ්‍ය මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා, තමන්ට එම ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි බවත් එය ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් බවත් කියා සිටියේය.

Image copyright Getty
Image caption ඇන්ජලීනා ජොලී සහ විලියම් හේග් සමුළුවේ මුලසුන හොබවති

කෙසේ නමුත් ඉන්දියාව, චීනය ඇතුළු තවත් රටවල් පනහකට ආසන්න ප්‍රමාණයක් එයට අත්සන් තබා නැති බවද ඔහු පැවසීය.

ලොව පුරා ලිංගික හිංසනයට එරෙහි ක්‍රියාධරයන් සහ රාජ්‍ය නිළධාරීන් එකට එක් රැස් කෙරෙන මෙම සමුළුව, ලිංගික හිංසනයට තිත තැබීම සඳහා ප්‍රායෝගික පියවරක් ගැනීමට සංවිධානය කළ දැවැන්ත උත්සාහයක් හැටියටයි සැලකෙන්නේ.

සිවිල් යුද සමයේ සහ ඉන් අනතුරුවත් දිගින් දිගටම ලිංගික හිංසනය සිදුවන රටක් ලෙසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට සහ විවේචනයට ලක් වී තිබේ.

කිසියම් ලෙසකින් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල වුවහොත් එයට පිළිතුරු දීම සඳහා ලැබෙන අවස්තාවක් මඟ හැරෙනු ඇති නොවේද යන්න සංදේශය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට යොමු කරන මතු කළ තවත් ප්‍රශ්නයක්.

ආරාධනාවකින් තොරව තමන්ට එයට සහභාගි විය නොහැකි බවයි, එයට ප්‍රතිචාරය පළ කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා කියා සිටියේ. චෝදනා එල්ල වුවහොත් එම චෝදනා අධ්‍යයනය කොට පිළිතුරු දීම පිණිස කාලයක් ගත වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර