මෝදිට එරෙහි ප්‍රථම ශ්‍රී ලංකා විරෝධතාව

Image caption ජයලලිතාගේ රූපයක් ගිනි තබමින්

ශ්‍රී ලංකාවේ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලීම සහ ශ්‍රී ලංකාවට සිදු කරන ඉන්දීය බලපෑමට එරෙහිව, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත් විය.

‘ජාතික සංවිධාන එකමුතුව’ සංවිධානය කළ මෙය ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි බලයට පත් වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති පළමු විරෝධතාව වශයෙන් වාර්තා වෙයි.

අමාත්‍ය විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් ද සහභාගි වුණු මෙම විරෝධතාවට පන්සීයකට ආසන්න පිරිසක් එක්ව සිටියෝය.

රූපයට ගිනි

තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ආකල්පයට දැඩි විරෝධය පළ කළ විරෝධතාකරුවෝ ඇයගේ රූපයක් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී ගිනි තැබූහ.

තමිල්නාඩු මහ ඇමතිනියට ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇඟිලි ගැසීම සඳහා ඉන්දීය නව අගමැතිවරයා ඉඩ නොතැබිය යුතු බව මෙහිදී විරෝධතාකරුවන් ඇමතූ බෙන්ගමුවේ නාලක හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකාවේ දෙමළ ඊලමකට ඉඩ දීමෙන් ඉන්දියාව ද අස්ථාවර වන බවයි මෙහිදී බෙන්ගමුවේ නාලක හිමියන් කියා සිටියේ.

‘මෝඩි මෝඩ වෙන්න එපා’ ‘මෝඩි අශෝකාද? චෝලද ?’ ‘මෝඩි ඒකාධිපතියෙක්ද ? ප්‍රජතන්ත්‍රවාදියෙක්ද ?’ යනුවෙන් සටහන් වූ පුවරු ද විරෝධතාකරුවන් රැගෙන විත් තිබුණු අතර පැයක පමණ කාලයක් මෙම විරෝධතාව දියත් විය.

Image caption ගිනි බත් කළ ජයලලිතා රූපය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර