යුධ අපරාධ පරීක්ෂණ සඳහා අවසර දීමේ තීරණය පාර්ලිමේන්තුවට

Image copyright AFP

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඬුල්ල පත් කළ බව දැනුම් දෙමින් මහ ලේකම්වරියගේ කාර්යාලයෙන් ලිපියක් ලැබී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පරීක්ෂණ මඬුල්ලට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිණිස අවසර ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබෙන බවත් මහජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියි.

එම ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඩුල්ලට රට තුළ සංචාරය කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙනවා ද නැද්ද යන්න පිලිබඳ වූ තීරණය පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි.

සුව නැති තුවාල

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වී වසර පහක් ගත වී තිබුණ ද ත්‍රස්තවාදය සහ යුද්ධය විසින් ඇති කරන ලද තුවාල තවමත් සුව වී නැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරිය පැවසුවාය.

ජිනීවා නුවර දී ආරම්භ වූ මානව හිමිකම් මණ්ඩලයේ විසි හය වැනි සැසි වාරය අමතමින් ඒ බව කියා සිටි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය, පසුගිය සැසි වාරයේ සම්මත වූ ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීම පිණිස සිය කාර්යාලය දැන් කාර්ය මණ්ඩලයක් පත් කොට තිබෙන බව ද කියා සිටියාය.

විශේෂඥයන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් පිරිසක් විසින් එම පරීක්ෂණය සිදු කරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

එම කණ්ඩායමට සහාය පළ කරන මෙන් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් පරීක්ෂණ මඬුල්ලේ සාමාජිකයන්ගේ නම් හෙළි කර නොමැත.

මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක වූ ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආර්යසිංහ, ශ්‍රී ලංකාව සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් නිර්දේශ කරමින් පසුගිය සැසි වාරයේ දී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බැවින් එම යෝජනාවේ ප්‍රතිඵලයක් වශයෙන් පිහිටනු ලැබූ පරීක්ෂණ මණ්ඩලයට ද ශ්‍රී ලංකාව සහාය නොදෙන බව අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර