ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාධ්‍යවේදී වැඩමුළු වලට හමුදා බලපෑම්

Image copyright pccsl.lk
Image caption හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය

'ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්' ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් මාධ්‍යවේදීන් සඳහා පොළොන්නරුවේ පැවති වැඩමුළුවට විරෝධතා එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමක් වූ බව යුද හමුදාව පවසයි.

නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් ලාල් පෙරේරා පොළොන්නරුවේ වැඩමුළුව පැවති හෝටලයේ හිමි කරුට මෙලෙස අනතුරු ඇඟවීම් කර තිබෙන්නේ පුද්ගලික මට්ටමින් බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව පවසන්නේ.

දෙමළ මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කෙරුණ පොළොන්නරුවේ, මීගමුවේ සහ කොළඹ වැඩමුළු බාධා කිරීම් නිසා නැවත්වීමට සිදු වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

පොළොන්නරුවේ දී හා කොළඹ දී සමුළුව පැවති හෝටල් වලට එල්ල වූ තර්ජන නිසා වැඩමුළුව අතහැර දැමීමට සිදු වූ අතර මීගමුවේ දී විරෝධතාකරුවන් පිරිසක් ඊට බාධා කර ඇත.

ආරක්ෂක අංශ පොළොන්නරුවේ වැඩමුළුව පැවති හෝටලයට බලපෑම් නො කළ බවත් හමුදාව සිදු කළේ 'විය හැකි සිදුවීමක්' පිළිබඳ අදාළ පාර්ශව දැනුවත් කිරීම පමණක් බවයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ.

නැගෙනහිර ආඥාපතිවරයා සහ හෝටල් හිමිකරු අතර දුරකථන සංවාදයක් හුවමාරු වූ බව පිළිගත් යුද හමුදා ප්‍රකාශකවරයා හෝටලය අවට විරෝධතාවක් ඇති විය හැකි බවට ලැබුණු තොරතුරක් එහි දී ඔවුන්ට ලබා දුන් බවයි පැවසුවේ.

බාධා කරන ලද බවා එල්ල වෙන චෝදනා හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන නමුත් මෙම වැඩමුළුව සංවිධානය කල 'ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්' ආයතනයේ විධායක අධ්‍යක්ෂ සුගත් රනුග්ගේ සංදේශයට පවසා සිටියේ පොළොන්නරුවේ දී පැවති වැඩමුළුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පැවැත්වීමට ඉඩ දිය නො හැකි බව හෝටල් කළමනාකාරිත්වය විසින් තමන්ට දැනුම් දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි තමන් සතු බව පවසන විධායක අධ්‍යක්ෂකවරයා ,කොළඹ ගලධාරි හොටල්යෙන්ද මාධ්‍යවේදියන් ඉවත් කීරීමට බලපෑම් කලේ ආරක්ෂක අංශ බවයි පැවසුවේ.

ජාතික සමගිය සඳහා තීරණාත්මකව කටයුතු කළ යුතු මෙවන් යුගයක මෙලෙස මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිදුර පුහුණුවක් ලැබීමට ඇති අවකාශයන් දෙමළ මාධ්‍යවේදීන්ට අහිමි කිරීම අතිශයින් ම කණගාටුදායක හා මානුෂීය අයිතීන් උල්ලංඝනය කිරීමක් වන බවයි සුගත් රනුගේ කියා සිටියි.