ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලුත්ගම යළිත් කැළඹෙයි

අලුත්ගම ධර්ගා නගරයේ දී භික්ෂූන් වහන්සේ නමකට හා එහිමියන්ගේ රියදුරාට පහර දුන් බවට චෝදනා ලත් පුද්ගලයන් අත්අඩංගුවට නොගත් බව පවසන ප්‍රදේශවාසීහු අලුත්ගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් දියත් කළහ.

භික්ෂූන් වහන්සේ නමක් ගමන් ගත් වාහනයක රියදුරා සහ පාර අවහිර කල බව පැවසෙන දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඇති බවයි බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ බීබීසීයට කියා සිටියේ.

රියදුරාට පහර දුන් බවට වරද පිළිගත් දෙදෙනෙකු පොලිසියට භාර වී ඇති නමුත් භික්ෂූන් වහන්සේට පහර දී නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ෆයිසාන් නයිෂර් බීබීසීයට ප්‍රකාශ කළේය.

තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා වාහනයේ රියදුරාට පහර දුන් බව පොලිසියට භාර වී සිටින තරුණයන් දෙදෙනකු පිළිගෙන ඇත.

අලුත්ගම ප්‍රදේශයේ ජීවත් වන සිංහල සහ මුස්ලිම් ජනතාව ඉතිහාසයේ සිට ඉතා සාමකාමීව ජීවත් වූ බව පවසන හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ භික්ෂූන් වහන්සේට පහර දුන් බව පැවසීම අමූලික බොරුවක් බවයි.

කෙසේ වුවද අලුත්ගම කැළඹීමට පත් කළ මෙම සිද්ධිය සමනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක වෙමින් සිටින බවයි ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ.

මෙම කලබලය නිසා අලුත්ගම නගරයේ කඩ සාප්පු බොහොමයක් වසා දැමුණි.