යුද අපරාධ පරීක්ෂණ: 'බාහිර විශේෂඥයන් පත් කර නැහැ'

Image copyright unmultimedia.org

ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වීම සඳහා එක්සත් ජාතීන් විසින් පත් කිරීමට නියමිත බාහිර විශේෂඥ කමිටුව තවමත් පත් කර නැති බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය බීබීසීයට කියා සිටී.

මේ පිළිබඳව අවසන් තීරණය ගෙන ඇති බවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල පළ වන වාර්තා අසත්‍ය බවයි නවී පිල්ලේ මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපර්ට් කොල්විල් කියා සිටියේ.

‘මෙම කමිටුව සඳහා පත් කිරීමට සුදුසු කිහිප දෙනෙකු සමඟ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය තවමත් සාකච්ඡා කරමින් සිටිනවා. තවම කිසිවෙකු නිල වශයෙන් පත් කර නැහැ.’ රූපර්ට් කොල්විල් බීබීසීයට ප්‍රකාශ කළේය.

පළපුරුදු අය

මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කරනු ලබන මෙම බාහිර විශේෂඥයන් පිරිස එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් කමිටු සාමාජිකයන් හා එක්වී කටයුතු කරන අතර ඔවුන් මීට පෙර මහ කොමසාරිස් කාර්යාලය සමඟ කටයුතු කර පළපුරුද්දක් ඇති අය බව ද ඔහු පැවසීය.

මෙම පරීක්ෂණ කමිටුවට එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් දොළොස් දෙනෙකු පත් කෙරෙන බවත් ඔවුන් අතර පරීක්ෂකවරුන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, නීති විශාරදයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් විශේෂඥයන් සිටින බවත් රූපර්ට් කොල්විල් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන සැන්ද්‍රා බෙයිඩස් මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇති බව ඔහු විසින් සනාථ කරන ලදී.

මෙම පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදෙන බවට ප්‍රකාශ කර තිබීම පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි ලෙස පසුතැවිලි වන නමුත් රජයේ සහයක් නොමැතිව මීට පෙර එක්සත් ජාතීන් මෙවැනි පරීක්ෂණ සඳහා කටයුතු කළ අවස්ථා පිළිබඳව නිදර්ශන පවතින බවත් එවැනි අවස්තාවලදී ක්‍රියාත්මක කළ යුතු ක්‍රම වේදයන් ගැන හොඳින් අත්හදා බලා ඇති බවත් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපර්ට් කොල්විල් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර