ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අළුත්ගම සන්සුන්

භික්ෂූන් වහන්සේ නමකට හා රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වීමත් සමග අළුත්ගම හා අවට ප්‍රදේශ වල හට ගත් නොසන්සුන් තත්වය මේ වන විට සමනය වී තිබේ.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවා ඇත.

අලුත්ගම දර්ගා නගරයේදී ඊයේ දහවල් පුද්ගලයන් තිදෙනෙකු භික්ෂූන් වහන්සේ නමක් ගමන් ගත් වාහනයයකට බාධා කර භික්ෂූන් වහන්සේට හා රියදුරුට පහර දුන් බවට පැමිණිල්ලක් අළුත්ගම පොලිසියට ලැබී තිබේ.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ නමුත් ප්‍රදේශ‍වාසින් විශාල ප්‍රමාණයක් පැමිණ පොලිසිය ඉදිරිපිට විරෝධතා දක්වා ඇත.

දර්ගා වැසියන් විසින් සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා අළුත්ගම පොලිසියට භාර දී ඇති අතර එහි දී විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ භික්ෂූන් වහන්සේගෙන් මේ පුද්ගලයන් සමාව ගත යුතු බවයි.

පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කළ පොලිසිය එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ඉන් අනතුරුව අළුත්ගම නගරයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ විරෝධතාකරුවන්

පොලිසිය ඉදිරිපිට සිය විරෝධය දක්වා පැමිණි පුද්ගලයන් වෙළඳ ආයතන වලට පහර දුන් බව කියා සිටි ජයන්ති මෙරයා සිංහලෙන් කතා කළ මෙම පුද්ගලයන් නොහදුනන බවද කියා සිටියාය.

තම වෙළඳසැලට පහර දීමක් සිදු ව ඇති බව දැන ගත්තේ අද පෙරවරුවේ බවයි මොහොමඩ් සිද්දික් කියා සිටියේ.

මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්වයක් පවතින බව බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මොහොමඩ් නයිෂර් මොහොමඩ් ෆයිසාන් කියා සිටියි.

ඊයේ රාත්‍රීයේ පොලිස්පතිවරයා සමග කල සාකච්ඡාවෙන් පසු ප්‍රදේශයේ තත්වය සාමකාමී වූ බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

යම් සිදුවීමක් වූ විට නගරයේ පිහිටි වෙළඳසැල් වලට පහර දී අලාභ හානි කිරීම නැවැත්වීම සඳහා පියවර ගත යුතු බව ද හිටපු මන්ත්‍රී මොහොමඩ් නයිෂර් මොහොමඩ් ෆයිසාන් පවසයි.

ඊයේ අළුත්ගම පොලිසියට භාර වූ පුද්ගලයන් තිදෙනා අද කළුතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.