ඉංග්‍රීසින් තැනූ කළු පාලම කඩා වැටෙයි

Image caption කඩා වැටුණු රක්වාන කළු පාලම

ඉංග්‍රීසි ජාතිකයන් විසින් ගල්දොල ඇල හරහා ඉදි කරන ලද කළු පාලම කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

මීට වසර එක සිය පනහකට පමණ පෙර දී ඉදි කරන ලද මෙම යකඩ පාලම රක්වාන නගරයේ සිට සුරියකන්ද හරහා දෙනියාය දක්වා යන මාර්ගයේ පිහිටා තිබුණි.

පසුගිය දොළොස් වන බ්‍රහස්පතින්දා පොහොර පැටවූ ලොරියක් පාලම මතින් ගමන් ගනිද්දී එම බර දරා ගත නොහැකිව පාලම කඩා වැටී ඇත.

රක්වාන කඳු වැටියේ මනස්කාන්ත පරිසරයක සුප්‍රසිද්ධ වංගු දහය ආරම්භ වීමට ආසන්නයේ මෙම පාලම පිහිටා තිබුණි.

යටත් විජිත සමයේ මේ ප්‍රදේශයේ නිෂ්පාදිත තේ, එනසාල්, මිනිරන් ආදී ද්‍රව්‍ය ප්‍රවාහනයට මෙම මාර්ගය ඉදි කර තිබුණ අතර යටත් විජිත පාලකයන් මඩුවන්වල හරහා දකුණු පළාතට ගමන් කිරීමට මේ මාර්ගය යොදා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

යකඩ පාලමේ එක් ඉවුරකට සවි කළ පැත්තක් කඩා වැටී තිබෙන අතර ඔරොත්තු නො දෙන බර පාලම මතින් ගෙන යාමට උත්සාහ දැරීම පාලම කඩාවැටීමට හේතුව යැයි සැක කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර