ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ සමීප හිතවතා මිය යයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ ක්‍රිකට් ආම්පන්න භාරව කටයුතු කරන පිඩි නිමල් හදිසි අනතුරකින් මරණයට පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඔහු වසර 15ක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහායකයා ලෙස කටයුතු කළ, ක්‍රීඩකයන්ගේ සමීප හිතවතෙක්.

පීඩී නිමල් ගේ අභාවය කණ්ඩායමේ වත්මන් සාමාජිකයන්ට මෙන්ම පැරණි ක්‍රීඩකයන්ටද දරාගත නොහැකි ශෝකයක් බව රවීන්ද්‍ර පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය.

"හැමෝම එයාට ආදරෙයි.ක්‍රීඩකයන්ට අවශ්‍ය මොනවද කියල ඔහු හොඳින්ම දැනගෙන හිටිය. අපේ ක්‍රිකට් ආම්පන්නවල ඉඳල අපිට අවශ්‍ය පුද්ගලික බඩු භාණ්ඩ ගැන පවා අපි හැමෝම එයාගෙන් තමයි ඇහුවේ," යනුවෙන් ඔහු අසාම් අමීන් සමඟ කියා සිටියේය.

ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමට ක්‍රීඩකයන්ට අවකාශ සලසා දෙනු වස් ඔවුන්ගේ අනෙක් සියලු අවශ්‍යතා සම්පාදනය කිරීමට නිමල් උත්සුක වූ බවද රවීන්ද්‍ර පුෂ්පකුමාර පැවසීය.

"අපි ලංකාවේ මැච් එකකට යනකොට අපේ සේරම ආම්පන්න බලා කියා ගත්තේ එයා තමයි."

තවමත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ජීවන් මෙන්ඩිස් අදහස් දක්වමින්: "එයා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස හැමදාමත් හිටපු අප්‍රසිද්ධ වීරයෙක්. එයාගේ අභාවය අපට ලොකු කම්පනයක්," යනුවෙන් පැවසීය.

කණ්ඩායම පුහුණුවීම්වල යෙදෙන අතරවාරයේ අනිවාර්යයෙන්ම පිටියේ රැඳී සිටීම පුරුද්දක් කරගත් පීඩී නිමල් පන්දු රැකීම සම්බන්ධ කණ්ඩායමේ නිල නොවන සහායක පුහුණුකරු ලෙසින් ක්‍රීඩකයන් විසින් ආදරයෙන් හැඳින්වූ බවත් ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන්.

එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට පුහුණු වූ අවස්ථාවේත් පිටියේ රැඳී සිටිමින් ක්‍රීඩකයන් දිරිමත් කළ ඔහු, හැකි සෑම අවස්ථාවකම ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා සපුරා දුන් මාධ්‍යවේදීන්ගේත් සමීප හිතවතෙක්.