'ජයග්‍රහණයට හේතුව මැතිව්ස්' - සංගක්කාර

Image copyright PA

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට නායකත්වය හා ක්‍රීඩාවේදී තුන් ඉරියව්වෙන් ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින සහ ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඉවහල් වූ ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර පවසයි.

"ඔහු විශිෂ්ට දක්ෂතා ඇති තරුණයෙක් බව ඇන්ජලෝ මැතිව්ස් පෙන්නුම් කළා" යයි හිටපු නායක කුමාර් සංගක්කාර කියා සිටියේය.

"මේ තරගාවලියේ දී අපට වාසි හා අවාසි අවස්ථාවන්හි ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරයෙන්ම පේනවා ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා නායකත්වයේ ගති ලක්ෂණ" සංගක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දෙවන ටෙස්ට් තරඟයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනසකට යොමු කෙරුණ මැතිව්ස්ගේ පළමු ඉනිමේ කඩුලු හතර සහ දෙවන ඉනිමේ ශතකය නිසා ඇන්ජලෝ මැතිව් තරගයේ වීරයා සම්මානයෙන් ද පුදනු ලැබුණි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එංගලන්තයේ පැවැත්වුන ටෙස්ට් තරඟාවලියකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.

තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ඊයේ අඟහරුවාදා නිම වූ දෙවැනි ටෙස්ට් ගැටුමේ අවසන් දිනයේ අවසාන පන්දුවාරයේදීයි.

අත් නො හළ අධිෂ්ඨානය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, “එය විශිෂ්ට ජයග්‍රහණයක් " වන බවයි.

"අපි අපේ උත්සාහය අවසන් මොහොත තෙක්ම අත්හැරියේ නැහැ, විශ්වාසය දිගටම තියා ගත්තා, අපේ පන්දු යවන්නන්ට එතරම් අත්දැකීම් නැහැ, නමුත් ඔවුන් හොඳ ස්ථානවලට පන්දු යැව්වා"කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

මෙම ජයග්‍රහණය ‘ඉතා විශේෂ එකක්’ බව පැවසූ මහේල ජයවර්ධන මෙම තරඟාවලිය බොහෝ දුරට ඔහුගේ අවසාන එංගලන්ත සංචාරය විය හැකි බවයි කියා සිටියේ.

කාලගුණයේ අභියෝගයත් ජය ගනිමින්

" ස්ලිප්හි පන්දු රකින කොට මම කුමාර්ට කිව්වා, තරඟය අන්තිම පන්දු වාරය දක්වා ක්‍රීඩා කිරීමට සිදු විය හැකි බව. එය එලෙස ම සිදු වුණා " මහේල ජයවර්ධන සඳහන් කළේය.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මැයි සහ ජුනි මාසවල තම රටේ පැවැත්වෙන තරගාවලියක් දෙදාහේ වසරේ සිට මෙතෙක් පරාජය වී නො තිබුණ බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

එම මාසවල පවතින කාලගුණය හා පන්දුව දැඩි ලෙස දෝලනය වීම ආසියානු රටවල කණ්ඩායම් මුහුණ දෙන දැඩි අභියෝගයක් බවත් එම අභියෝගයට ද මුහුණ දෙමින් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ඉතා විශිෂ්ට එකක් බවත් ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර