වටරැක විජිත හිමියන් අත් අඩංගුවට

Image caption විජිත හිමියන් වැටී සිටියදී සොයාගත් ස්ථානය

ජාතික බල සේනා සංවිධානයේ නායක, මහියංගනය ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බදාදා දහවල් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වටරැක විජිත හිමියන් සුවය ලබා පිටව යන අවස්ථාවේදීයි, එහිමියන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

තමන්ට ‍පිරිසක් පහරදී තුවාල සිදු කළ බවට පොලීසිය නොමඟ යැවීමේ චෝදනාව මත විජිත හිමියන්ට ‍එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පසුගිය ඉරිදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

පානදුර හිරණ පාලම ආසන්නයේ ඉකුත්දා තුවාල සහිතව බිම වැටී සිටියදී හමුවූ විජිත හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණ.

එහිමියන් බදාදා සවස පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට පැවසීය.

'පිළිගන්න බෑ'

වටරැක විජිත හිමියන්ට එල්ල කරන චෝදනා අසත්‍ය බවද එහිමියන්ගේ නීතිවේදියා පවසයි.

නිසි ආරක්ෂාවක් නොමැති වීම, ලබා දුන් ආරක්ෂාව ඉවත් කිරීම, තර්ජන හේතුවෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් දෙකකටම සහභාගි වීමට නොහැකි වීම සහ බොදු බල සේනා සංවිධානයෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් එහිමියන් දැඩි මානසික පීඩනයකට මුහුණ දෙමින් සිටින බව නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි එහිමියන්ගේ සමීප දායකයෙක් සංදේශයට කියා සිටියේය.

එමෙන්ම තමන් වෙනුවෙන් පෙනී සිටීම පිණිස නීතිවේදීන්ට ගෙවීම පිණිස පවා එහිමියන් අත කිසිදු මුදලක් නැති බවත් එම දායකයා පැවසීය.

විශේෂයෙන්ම අත් අඩංගුවේ දී මියයන සැකකරුවන් සහ 'ආයුධ පෙන්වා දීමට ගොස් වෙඩි ප්‍රහාරවලට ලක්වන' සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වරින් වර කරන ප්‍රකාශ හමුවේ එහිමියන් තමන් විසින්ම තුවාල සිදු කර ගත් බවට කරන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර