ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් කටයුතු වලට යළිත් බාධා

Image copyright tisrilanka.org

ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් (Transparency International) සංවිධානයේ කටයුතු වලට යළිත් වතාවක් බාධා පැමිණ තිබේ.

එහි වාර්ෂික මහා සභා රැස්වීම වැල්ලවත්තේ ග්ලෝබල් ටවර් (Global Tower) හෝටලයේ පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කොට තිබියදී එය නොපවත්වන ලෙසට හෝටලයට බලපෑම් කොට තිබීම් හේතුවෙන් රැස්වීම හදිසියේ වෙනත් ස්ථානයක පැවැත්වීමට සිදුවූ බව සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක අධ්‍යක්‍ෂ සුදත් රනුග්ගේ පැවසුවේය.

හෝටලයට බලපෑම් කිරීම් හේතුවෙන් තම සංවිධානයට රැස්වීම පැවැත්වීමට හෝටලය අවකාශ ලබා නොදුන් බවට වැල්ලවත්ත පොලීසියේ පැමිණිල්ලක් දැමූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

වාර්ෂික මහා සභා රැස්වීම හෝටලයේ පැවැත්වීම නතර කරන ලෙසට උපදෙස් නොදුන් බව පොලීසිය සඳහන් කළ බවයි ඔහු පැවසුවේ.

දූෂණ විරෝධී සහ යහපාලනය ඇතිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන නිසා ඉහලින් ලැබෙන බලපෑමක් නිසා හෝ වෙනත් බලපෑමක් නිසා මෙවැනි බාධා කිරීම් සිදුවන්නේද යන්න ගැන සැක පල කරන ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ සුදත් රනුග්ගේ සංවිධානාත්මකව මෙය සිදු කෙරෙන බවයි කියා සිටියේ.

මීට පෙර අවස්ථා ගණනාවකදීම තම සංවිධානයේ කටයුතු වලට බාධා සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර