චන්ද්‍රිකා ඝාතන සැලසුම්කරුවෝ අත්අඩංගුවට

Image copyright AFP

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට සැලසුම් කළ එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු ඊයේ (4) මැලේසියානු ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

මැලේසියානු අගනුවර දී කළ වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත් බවයි මාධ්‍ය හමුවකට එක්වූ මැලේසියානු පොලිස්පති කාලිඩ් අබ් බකර් ප්‍රකාශ කළේ.

නීති විරෝධීව මැලේසියාවට ඇතුල්වී එහි පදිංචි වී සිටි මෙම සැක කරුවන් සතුව විදේශ ගමන් බලපත් කිහිපයක්ම තිබූ බවයි පැවසෙන්නේ.

පොලිස්පති කාලිඩ් පවසන ආකාරයට මෙම සැක කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එක්දහස් නමසිය අනූ නමයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉලක්ක කරමින් කොළඹ නගර සභා පිටියේ දී බෝම්බයක් පුපුරවා හැරීමේ සිදුවීමට ඍජුවම සම්බන්ධ වී සිටි අයෙකි.

දෙදහස් නමයේ සිට මේ දක්වා නීතිවිරෝධී ලෙස මැලේසියාවට ඇතුළුවූ එල්ටීටීඊ සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමට මැලේසියානු ආරක්ෂක බලධාරීන් විසින් මෙහෙයුමක් දියත් කොට තිබේ.

මේ දක්වා එල්ටීටීඊ සාමාජිකයන් දාහතර දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඉන් සමහර දෙනෙක් ශ්‍රී ලංකාවට නැවත යැවීමට කටයුතු සුදානම් කොට ඇති බවද පොලිස්පති කාලිඩ් වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර