ක්‍රිකට්: පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරදියි

Image copyright AFP
Image caption දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව මෙයයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පළමු එක් දින ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව ලකුණු 75 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හෂීම් අම්ලා රැස් කළ ශතකය සහ ඒබීඩි විලියර්ස් සමඟ ඔහු ලකුණු 151 ක සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම තරඟයේ කැපී පෙනුන සිදුවීම්.

අවසාන පන්දු ඕවර පහේදී ලකුණු 53 ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව වන කඩුලු පහකට ලකුණු 304 ක් රැස් කිරීමට පිතිකරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 88 ක් රැස් කළ නමුත්, ලකුණු 13 කට කණ්ඩායමේ අවසාන කඩුලු පහ දැවී යාම හමුවේ, කණ්ඩායමේ සියලු දෙනා දැවී යන විට ශ්‍රී ලංකාව රැස් කොට තිබුණේ ලකුණු 229 ක් පමණයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි එක් දින සීමිත ඕවර තරඟය ලබන බදාදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.