දලයි ලාමාගෙන් බෞද්ධයන්ට ඉල්ලීමක්

Image copyright AP

සහෝදර රට වැසියන් වන මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන මෙන් ටිබෙටයේ බෞද්ධ නායක දලයි ලාමා ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරති.

උන්වහන්සේ විසින් එම ඉල්ලීම කරනු ලැබුණේ සිය හැත්තෑ නව වැනි ජන්ම දිනය නිමිත්තෙන් රැස් ව සිටි දස දහස් ගණනක් ජනතාව අමතා පැවැත් වූ දේශනයක දී.

දලයි ලාමා, එම ජනතාව අමතමින් බෞද්ධ ප්‍රජාව බහුතරය වන රටවලින් බැගෑපත්ව ඉල්ලා සිටියේ ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වළකින ලෙසයි.

“එවැනි සාපරාධී ක්‍රියාවක් දෙසට යොමු වීමට පෙර බුදුන්ගේ රුව සිහියට නගා ගන්නා මෙන් මම බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා. බුදු හාමුදුරුවෝ අපට ඉගැන්නුවේ ආදරය සහ කරුණාවයි. බෞද්ධයන් විසින් මේ වගේ පහර එල්ල කරනු ලබන තැනක බුදු හාමුදුරුවෝ වැඩ හිටිය නම් උන්වහන්සේ පීඩාවට පත් මුස්ලිම් ජනතාව ආරක්ෂා කරනවා ඇති” දලයි ලාමා ප්‍රකාශ කළහ.

බුදු හාමුදුරුවෝ වැඩ හිටියා නම්

පසු ගිය මාසයේ අලුත්ගම සහ බේරුවල පලාත්වල අන්තවාදීන්ගේ ගැටුම් වලදී මුස්ලිම් ජාතිකයන් හතර දෙනකු මරා දැමුණ අතර විශාල දේපොළ විනාශයක් ද වාර්තා විය.

අලුත්ගම සහ බේරුවල ගැටුම් ආරම්භයේ දී බොදු බල සේනා නම් බෞද්ධ සංවිධානය විසින් එහි පවත්වන ලද රැස්වීමක දී බෞද්ධ හිමිවරුන් පළ කළ අදහස් ගැටුම් පැතිර යාමට හේතු වූ බව ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂවල සහ සමාජ ක්‍රියාධරයන්ගේ විග්‍රහය විය.

බුරුමයේ මුස්ලිම් විරෝධී ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුගිය කාලය තුළ දෙසීයකට අධික ජීවිත විනාශයක් සහ එක් ලක්ෂ පනස් දහසකට අධික ජනකායකට උන්හිටිතැන් අහිමි වීම් ගැන වාර්තා වුණි.

බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යසන වලට හේතු වූයේ වර්ධනය වෙමින් පවතින බෞද්ධ ජාතිකවාදයයි.

එවැනි බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වල ප්‍රකාශන වලට එරෙහිව දලයි ලාමා මින් පෙරත් කීපවරක් ම අදහස් පළ කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර