දෙවැනි බෝට්ටුවේ ඉරණම අධිකරණයට

Image copyright Reuters

බෝට්ටු මගින් ලඟා වී සිටින ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් එක සිය පනස් තුන් දෙනෙක් ආපසු හරවා යවනු ලැබීම වළක්වමින් ඕස්ට්‍රේලියානු මහාධිකරණය තාවකාලික තහනම් ආඥාවක් නිකුත් කර ඇත.

එම උසාවි නියෝගය නිකුත් කෙරුණේ, තවත් බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වූ හතළිස් එක් දෙනකුගෙන් සැදුම් ලත් සරණාගතයන් කණ්ඩායමක් එරට නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලද බව ඔස්ට්‍රේලියාව විසින් තහවුරු කරනු ලැබීමෙන් ස්වල්ප වේලාවකට පසුවයි.

අඟහරුවාදා පස්වරු හතර දක්වා මෙම තාවකාලික අධිකරණ නියෝගය බල පැවැත්වෙන බවයි ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සංවිධානයේ ප්‍රකාශක ඉයන් රින්ටෝල් පවසන්නේ.

බලාපොරොත්තුවක්

“අපිට මේ වෙන කොට තාවකාලික තහනම් නියෝගයක් තියනවා. හෙට (අඟහරුවාදා) හවස ලබා දීමට බලාපොරොත්තු වෙන උසාවි ප්‍රතිඵල වලින් තීරණය කරයි මේ තාවකාලික නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද කියන දේ. අපේ නීතිඥයෝ බලාපොරොත්තු වෙනවා ඔවුන්ට නැවතත් ඕස්ට්‍රේලියාවට එන්න ඉඩ දෙයි කියල” යනුවෙන් ඉයන් රින්ටෝල් බීබීසීය වෙත අදහස් දක්වමින් පැවසීය.

රැකවරණය පතා පැමිණි පිරිසගේ මූලික අයිතිවාසිකම් ඕස්ට්‍රේලියාව විසින් කඩ කරනු ලැබ තිබේද යන්න පිළිබඳ අධිකරණය මගින් විභාග කිරීමට නියමිත බවත් ඉයන් රින්ටෝල් පැවසුවේය.

රඳවා ගෙන සිටින බව පැවසෙන පිරිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව තවමත් කිසිවක් ප්‍රකාශ කොට නැති නමුත් හෙට පැවැත්වෙන අධිකරණ විභාගයේදී රැකවරණය පතා පැමිණි පිරිස තමා විසින් රඳවාගෙන සිටිනවාද නැද්ද යන්න අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇති බවත් ඉයන් රින්ටෝල් බීබීසීයට කියා සිටියේය.

සුනඛයෙක්

Image copyright Reuters

මුහුද මැදදී නවතාලීමේ සිට ආපසු ලංකාවට යැවීම දක්වා ඔස්ට්‍රේලියානු බලධාරීන් මුනිවත රැකි නමුත් පළමු වරට ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් ජුනි මාසයේ අග භාගයේදී මොවුන් මුහුද මැදදී නවතා ලූ බව ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ පිළිගත්තේය.

ආපසු හරවා යැවූ සරණාගතයන් 41 දෙනා සමඟ බෝට්ටුවේ සිටි සුනඛයෙකුද ශ්‍රී ලංකාවට පිටත් කර හළ බව අමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය.

ශ්‍රී ලංකාවට භාර දී ඇති සරණාගතයන් හතළිස් එක් දෙනාගෙන් තිස්හත් දෙනෙක් සිංහල ජාතිකයන් වන අතර සෙසු හතර දෙනා දෙමළ ජාතිකයන්.

මේ වන විට පොලිස් භාරයේ සිටින මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට වී ඇති පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද පොලිස් ප්‍රකාශක බීබීසීයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර