රමපෝසා සහ ශ්‍රී ලංකා නායකයන් අතර සාකච්ඡා

දකුණු අප්‍රිකානු රජයේ උප ජනාධිපති සිරිල් රමපෝසා ඇතුළු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් අනුව දිවයිනට පැමිණ සිටිති.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට මැදිහත්කරුවකු ලෙස දකුණු අප්‍රිකානු රජය සම්බන්ධ කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජය මෙන්ම දෙමළ ජාතික සන්ධානයත් දකුණු අප්‍රිකාව සමග සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සහ දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ සංචාරය අතර කිසිදු සම්බන්ධතාවක් නැති බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසී සංදේශයට ප්‍රකාශ කර තිබුණත්,අද සඳුදා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකානු උප ජනතිපතිවරයා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ දේශපාලනඥයන් සමග ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිතයා ද වන සිරිල් රමපෝසා එරට මාධ්‍යයට පවසා තිබුනේත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට උදව් කිරීම සිය සංචාරයේ අරමුණ බවයි.

විදේශ ඇමතිවරයා හමුව

කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා අතර හමුවක් අද සඳුදා පැවැත්වුණු නමුත් ඊට ඇතුළත් කරුණු පිළිබඳව දවස ඇතුළත මාධ්‍යයට වාර්තා නොකෙරිණ.

දෙමළ ජාතික සන්ධානය නායකයන් සමග හෙට අඟහරුවාදා කොළඹදී සාකච්ඡාවකට සහභාගී වන දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා ඉන් පසු යාපනයේදී උතුරේ මහ ඇමති සී.වී.විගනේශ්වරන්ද හමුවීමට නියමිතයි.

ඉන් අනතුරුවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඔහු විශේෂ සාකච්ඡාවකට සහභාගී වන්නේ.

ආණ්ඩුව තුළින් විරෝධයක්

මේ අතර දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වකර ඇතැම් දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම පිණිස දකුණු අප්‍රිකාව ඇතුළු විදේශීය රටවල සහාය පැතීම අනවශ්‍ය බවයි අමාත්‍ය විමල් වීරවංශ කොළඹ පැවැත්වුන විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

" ජනාධිපතිතුමා සමඟ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීම ගැන අපි විරුද්ධ නැහැ, නමුත් අපි කියන්නේ ආණ්ඩුව හා දෙමළ සන්ධානය අතර බලය බෙදීම ගැන හෝ එවැනි සාකච්ඡාවකට පහසුකම් සපයන්නෙකු හැටියට හෝ අන්තර්ජාතික පාර්ශවකරුවකු හැටියට දකුණු අප්‍රිකාව පත් කර නොගන්නා ලෙසයි "

දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැති බව පැවසූ අමාත්‍යවරයා එම රට මෙම ප්‍රශ්නයට මැදිහත් කරුවෙකු බවට පත් කර ගැනීම මගින් ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය සමනය කර ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බවයි කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර