වටරැක විජිත හිමිට ඇප; චෝදනා 'අපැහැදිලියි'

Image caption පොලිස් අත්අඩංගුවට පත් වටරැක විජිත හිමියෝ

පොලිස් අත්අඩංගුවේ පසු වූ වටරැක විජිත හිමියන් ඇප මත මුදා හැරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

විජිත හිමියන්ට ‍එරෙහිව ගොනු කර ඇති චෝදනා අපැහැදිලි හෙයින් යළි චෝදනා ගොනු කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කළ බවයි මාධ්‍යවේදී පින්සිරි පෙරේරා කියා සිටියේ.

බොදු බල සේනා සංවිධානය වැඩි කල් නොගොස් ශ්‍රී ලංකාව තුළ ලේ වැගිරීමක් කිරීමට අදහස් කර ගෙන සිටින බවට තමාට සැකයක් ඇතැයි අධිකරණ ගොඩනැගිල්ල වෙත ගමන් කරමින් සිටි වටරැක විජිත හිමි පැමිණ සිටි පිරිස අමතා ප්‍රකාශ කර ඇත.

ආරක්ෂාව

වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එහිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගත යුතු බවයි.

වටරැක විජිත හිමියන්ට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම පිළිබඳ බීබීසීය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ එවැනි ඉල්ලීමකට අනුමැතිය දිය හැක්කේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පමණක් බවයි.

යම් කිසිවකුට ජීවිත තර්ජන ඇත්නම් ඒ සඳහා බුද්ධි වාර්තාවක් පදනම් විය යුතු බවද කිසිවකුටත් ඉල්ලූ පමණින් පොලිස් ආරක්ෂාව නොලැබෙන බවත් පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

පානදුර හිරණ පාලම ආසන්නයේ තුවාල ලබා බිම වැටී සිටියදී හමු වූ වටරැක විජිත හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි පොලිස් අත්අඩංගුවට පත් වුයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර