විදුහල්පති දේශපාලන 'ගැත්තෙක්'

Image copyright AFP

කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ පුතා ඇතුළු සිසුන් පිරිසකට තරවටු කළ රම්‍යා රත්නායක ගුරුවරියට නගරාධිපතිවරයා ගෙන් සමාව ගැනීමට බල කළ මලියදේව පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

නගරාධිපතිගේ පුතුට තරවටු කළා යයි රම්‍යා රත්නායක ගුරුවරියට බැණ වැදී ඇති විදුහල්පතිවරයා කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේට දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර නගරාධිපතිගෙන් සමාව ගැනීමට විදුහල්පති විසින් ගුරුවරියට බල කර ඇති බව ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට පැවසීය.

"ඉන් පසු මේ විදුහල්පතිවරයා විසින් අදාළ ගුරුවරිය පාසලේ නියෝජ්‍ය විදුහල්පති සමග නගරාධිපති නිල නිවසට යවලා තියනවා සමාව ගන්න," යයි සිදුවීම විස්තර කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති පවසයි.

මෙය අති බරපතළ තත්වයක් බවත් තම රාජකාරියට අනුව ගුරුවරයා ආරක්ෂා කිරීම පසෙකළා දේශපාලන ගැති භාවයකින් මෙම විදුහල්පතිවරයා කටයුතු කර ඇති බවට ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.

ගුරුවරිය දන ගැස්වීම

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ආනන්ද සරත් කුමාර විසින් ආනමඩුව නවවත්තේගම නවොද්‍යා පාසලේ ගුරුවරියක දන ගැස්ස වූ සිදු වීම සිහිපත් කළ ජෝසප් ස්ටාලින් එම නඩුව පුත්තලම මහාධිකරණයේ විභාග වන අවස්ථාවේදී එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති විජේරත්න නැමැත්තා අසත්‍ය සාක්ෂි අධිකරණයට ලබා දුන් බව පැවසුවේය.

මලියදේව විදුහලේ විදුහල්පතිවරයා ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් තම සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවයි ජෝසප් සටාර්ලින් පවසන්නේ.

තරග විභාගයක් පැවැත් වීමෙන් විදුහල්පති සේවයට ගුරුවරුන් පත් කර ගන්නා බව පවසන ජෝසප් ස්ටාලින්, තරගකාරී විභාගවලට මුහුණ නොදී සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ඇතැම් විදුහල්පතිවරුන් දේශපාලනඥයන්ට වන්දනා මාන කරන තත්වයක් උදා වී ඇති බව කියා සිටියි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මලියදේව විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව පියවරක් නොගන්නේනම් අනෙකුත් ගුරු වෘත්තීය සංගම් හා එක්ව දැඩි ක්‍රියා මාර්ගයකට යන බව ජෝසප් ස්ටාලින් ලංකා ගුරු සංගමයේ සභාපති අවධාරණයෙන් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර