ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රමපෝසා සමඟ ජාතික ගැටලුව සාකච්ඡා කළා - ටීඑන්ඒ

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝසා කොළඹ දී හමු වී ජාතික ගැටලුවට විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමෙන් ජාතික ප්‍රශ්නය විසඳීමට ගන්නා උත්සාහයට තම පක්ෂයේ සහාය හිමිවන බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

"රජයේ ආරාධනයෙන් එතුමා මෙහෙ ආවේ. අප්‍රේල් වල අපි එහෙ ගිය වෙලාවේ අපිත් කිව්වා ලංකාවට එන්න කියලා. විශේෂයෙන්ම උතුරට ගිහිල්ලා එහි තත්වය බලන්න කියලා අපි කිව්වා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

Image caption 'ජාතික ගැටලුවට විසඳුම් පිළිබඳව සාකච්ඡා කළා'

දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ උත්සාහයට ශ්‍රී ලංකා රජයද සහයෝගය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

13 වන සංශෝධනය ඇතුළු ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කළේ දැයි විමසූ විට සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ එම කරුණු සවිස්තරව පැවසිය නොහැකි බවයි.

යාපන සංචාරය

දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව රමපෝසා උප ජනාධිපතිවරයා යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන්, පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජීඒ චන්ද්‍රසිරි සහ ආරක්ෂක ප‍්‍රධානීන් ද මුණගැසුනේය.

උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය විසින් ලබා නොදෙන බව දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාට පෙන්වා දුන් බව, උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා හමුවෙන් අනතුරුව ජනමාධ්‍ය අමතමින් කියා සිටියේය.

Image caption සාකච්ඡා පිලිබඳ වැඩි විස්තර හෙළි කළ නොහැකි බව මන්ත්‍රීවරයා පවසයි

රජය බලතල ලබා නොදෙන්නේ නම් නම් හිටපු විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා නීති මගින් කටයුතු කළ හැකි නේදැයි දකුණු අප්‍රිකානු විශේෂ නියෝජිතයා තමන්ගෙන් විමසූ බව සඳහන් කළ මහ ඇමතිවරයා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගවිනිසුරුවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා බවත්, අධිකරණ ක්‍රියාවලිය ගැන තමන්ට පැහැදීමක් නැති බවත් එයට ප්‍රතිචාර වශයෙන් තමන් පෙන්වා දුන් බව කියා සිටියේය.

උතුරු පළාතේ හමුදා භටයන් විශාල ප්‍රමාණයක් රඳවා තිබීම හේතුවෙන් දෙමළ ජනතාවගේ දෛනික කටයුතුවලට ඔවුන් ගෙන් එල්ලවී ඇති බාධා පිළිබඳවද තමන් දකුණු අප්‍රිකානු දූත පිරිස දැනුවත් කළ බව මහ ඇමති විග්නේශ්වරන් කියා සිටියේය.

සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කළ දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා අඟහරුවාදා සවස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව සම්බන්ධ ජනාධිපති ජේකබ් සූමා ගේ විශේෂ නියෝජිතයා ලෙස සිරිල් රමපෝසා පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ජාතිය ගොඩ නැගීමේ ක්‍රියාදාමය වෙනුවෙන් සහාය වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති සූමා ගෙන් ශ්‍රී ලංකාවේදී කරන ලද ඉල්ලීමකින් අනතුරුව බව දකුණු අප්‍රිකානු ආණ්ඩුව නිකුත් කළ නිවේදනයකද සඳහන් වේ.

එහෙත් දකුණු අප්‍රිකානු නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම නොව ද්විපාර්ශ්වික සම්බන්ධතා තරකිරීම පමණක් බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා පසුගිය ඉරිදා සංදේශයට කියා සිටියේය.