ආබාධිත සෙබළ දීමනා දිගටම

යුද්ධයෙන් ආබාධිත වූ යුද හමුදා සෙබළුන්ට විශ්‍රාම වැටුප් හිමි වන තෙක් ඔවුන්ගේ මාසික වේතනය ගෙවීමට ශ්‍රී ලංකා යුද හමුදා බලධාරීහු අභියාචනාධිකරණය හමුවේ එකඟ වූහ.

තමන්ට හිමි විය යුතු මාසික වේතනය ගෙවීම යුද හමුදාව මගින් අත් හිටවා ඇති බව පවසමින් ආබාධිත සෙබළුන් දෙසිය අනූ දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගය සඳහා කැඳවනු ලැබුණ අවස්ථාවේ එම දැනුම් දීම සිදු කළ බවයි, ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.එස්.ඩි. වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

‘මේ පෙත්සම ඉදිරිපත් කල සෙබළු දෙසිය අනූ දෙදෙනාම වෙනත් හේතුවක් නිසා නොව යුද්ධය නිසා ආබාධිත වූ අයයි. පෙනුමෙන් නිරෝගී පුද්ගලයින් වශයෙන් පෙනී ගියත් ඔවුන්ගේ ශරීරය අභ්‍යන්තරයේ දරුණු තුවාල තිබෙනවා. ඔවුන්ට වෙනත් රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා විශ්‍රාම වැටුප හිමි වනතුරු මාසික වැටුප ගෙවීම වැදගත්. එය ඔවුන්ට නීතිය අනුව හිමි අයිතියක්’ යයි කියා සිටි ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.එස්.ඩි. වික්‍රමසිංහ අධිකරණය වෙතින් සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරන බවයි සඳහන් කළේ.

යුද්ධය නිසා ආබාධිතව

Image copyright AFP Getty Images
Image caption අබාධිත යුද සෙබළෙක් ක්‍රීඩා උළෙලක.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා කියා සිටියේ එම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ සඳහා කාලය ලබා දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම ලබන විසිඅට වෙනි දින යළි කැඳවීමට නියම කළ ශ්‍රී ලංකා අභියාචනාධිකරණය අදාළ කටයුතුවල ප්‍රගතිය එදින වාර්තා කරන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

පෙත්සම්කාර ආබාධිත යුද සෙබළුන් පවසන්නේ, වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සෙබළුන්ට ඔවුන්ගේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වී විශ්‍රාම වැටුප් සුදුසුකම් ලබන තෙක් මාසික වැටුප් ගෙවීමට යුද හමුදාව බැඳී සිටින බවයි.

එහෙත් තමන්ට හිමි මාසික වැටුප් ගෙවනු ලැබීම යුද හමුදා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පවසමිනුයි, ආබාධිත සෙබළුන් අධිකරණය ඉදිරියට ගොස් සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර