තවීෂ ඝාතනය කළේ 'දුරකථනය ගැනීමට'

Image copyright South Yorkshire Police
Image caption පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනි දින සිය මෝටර් රථයේදීම මරා දමා තිබිණ

තවීෂ ලකිඳු පීරිස් ශ්‍රී ලාංකික ශිෂ්‍යයා ඝාතනයට ලක් වූයේ ඔහුගේ දුරකථනය උදුරා ගැනීමට තැත් කළ පුරුෂයන් දෙදෙනකු ඔහුට පිහියෙන් ඇනීම හේතුවෙන් බව බ්‍රිතාන්‍ය අධිකරණයකදී හෙළි විය.

උතුරු එංගලන්තයේ ෂෙෆීල්ඩ් හලාම් විශ්ව විද්‍යාලයේ උපාධිය හැදෑරීමෙන් අනතුරුව පීසා බෙදීමේ රැකියාවක නිරතව සිටි 25 හැවිරිදි තවීෂ පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනි දින සිය මෝටර් රථයේදීම මරා දමා තිබිණ.

ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට නිවැරදිකරු බවයි 26 හැවිරිදි චුදිත ශම්රාස් ඛාන් අධිකරණය ඉදිරියේ කියා සිටියේ.

එහෙත් ඝාතනය සම්බන්ධ වරද පිළිගත් 18 හැවිරිදි කාසීම් අහ්මඩ්ට මේ මාසය අගදී දඬුවම් නියම කිරීමට නියමිතයි.

තවීෂගේ මෝටර් රථයේ යතුර පැහැරගත් විත්තිකරුවන් දෙදෙනා ඔහුට පිහියෙන් ඇන, ඔහු මෝටර් රථයේ ලේ ගලමින් සිටියදී අත්හැර දමා පලා ගොස් ඇති බවයි, පැමිණිල්ල අධිකරණය ඉදිරියේ කියා සිටියේ.

කාසීම් අහ්මඩ් පිහියක් ගෙන තවීෂට අනිනු දුටු බව පොලිසියට පැවසූ ශම්රාස් ඛාන්, තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නොවූ බව කියා සිටියේය.

එහෙත් විත්තිකරුවන් දෙදෙනාම ඝාතනයට වගකිව යුතු බවයි, පැමිණිල්ල පවසන්නේ.

නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර