ඌව පළාත් සභාව විසුරුවා හැරේ

Image copyright AFP
Image caption උතුරු පළාත් සභාවේ හැර අනෙක් සියලු පළාත් සභාවල බලය පාලක සන්ධානයට හිමි විය

ඌව පළාත් සභාව සිකුරාදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ උපදෙස් පරිදි ආණ්ඩුකාර සී නන්ද මැතිව් විසින් ඌව පළාත් සභාව විසුරුවා හැරීමට තීරණය කරනු ලැබ ඇති බවයි, එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

2010 අප්‍රේල් මාසයේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් අනතුරුව වරින්වර පළාත් සභා මැතිවරණ පැවැත්වුණු අතර, උතුරු පළාත් සභාවේ හැර අන් සෑම පළාත් සභාවකම බලය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය.

තීරණාත්මක මැතිවරණයක්

එහෙත් පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණු බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී පාලක සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය ඊට පෙර මැතිවරණවලට සාපේක්ෂව බරපතල ලෙසින් පහල වැටීම දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානයට ලක් විය.

එම මැතිවරණවලදී විශේෂයෙන්ම පාලක සන්ධානයට ලැබුණු සුළු ජාතික ඡන්ද පහල වැටී තිබුණු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පිළිගත්තේය. එහෙත් එය විපක්ෂ මන්තිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් බවයි, සංදේශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

ලබන වසර මුලදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, ඌව පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂවල ජනප්‍රියත්වය උරගා බැලෙන තීරණාත්මක මැතිවරණයක් සේ සැලකේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර