ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට මහේල තීරණය කරයි

Image copyright Getty

ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට අවසර ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ඒ බව සඳහන් කරමින් අදාළ ලිපිය බාරදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එළඹෙන පකිස්තාන හා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් පසු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ.

ගෞරවයක්

පුරා වසර දහඅටක් තම මවු රට නියෝජනය කිරීමට ලැබීම මහඟු භාග්‍යයක් හා ගෞරවයක් ලෙස තමා සලකන අතර ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය ඉතා අපහසුවෙන් ගත් එකක් බව මහේල ජයවර්ධන ලිපියේ සඳහන් කරයි.

ටෙස්ට් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට නිශ්චිත මොහොත පැමිණ ඇති බව විශ්වාස කරන බැවින් ඒ බව තීරණය කළේ යැයි මහේල ජයවර්ධන වැඩි දුරටත් පවසා සිටියි.

නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් දින ජාත්‍යන්තර තරඟ සඳහා තවදුරටත් සම්පුර්ණයෙන් කැප වී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර