ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විග්නේශ්වරන් සහ විජයලක්‍ෂමී රමේෂ් ගැටුම නිමයි

පරිපාලන කටයුතු වලට අදාලව උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය වෙත තමා විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවක් ඉවත්කර ගැනීමට මහඇමති සී.වී.විග්නේශ්වරන් අද සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එකඟ විය.

මහඇමතිවරයා විසින් ලේකම්වරිය වෙත නිකුත් කර තිබුණ පරිපාලන උපදෙස් මගින් කියැවුනේ,ලේකම්වරියට පළාතෙන් පිටතට යාමට අවශ්‍ය නම් ඊට අදාලව ප්‍රධාන ඇමතිවරයාගෙන් පූර්ව අනුමැතියක් ලබාගත යුතු බවයි.

මහඇමතිවරයාගේ උපදෙස් මාලාව මගින් සිය මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් විජයලක්‍ෂමී රමේෂ් ඉදිරිපත් කල පෙත්සමක් අද,සඳුදා විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රධාන ඇමති සි.වී.විග්නේශ්වරන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා ඉහත කී තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය

මානව හිමිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අගවිනිසුරු මොහාන් පීරිස් කියා සිටියේ ගැටුමකට නොගොස් අදාළ ප්‍රශ්නය සුහදව විසඳා ගැනීම යෝග්‍යය බවයි.

දෙපාර්ශ්වයේ එකඟත්වය

එම යෝජනාවට දෙපාර්ශවයේම එකඟතාවය ලැබීමෙන් අනතුරුව ප්‍රශ්නගත උපදෙස් මාලාව ඉල්ලා අස්කර ගැනීමට වග උත්තරකාර පාර්ශවය එකඟතාවය පළකළ බවයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදී ගෝමින් දයාසිරි කියා සිටියේ.

"මහඇමතිවරයා ඔහු නිකුත් කළ උපදෙස් මාලාව ඉවත් කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා. එහිදී අපි කියා සිටියේ එම උපදෙස් මාලාව විධිමත් චක්‍රලේඛයක් මාර්ගයෙන් ඉවත් කිරීම අවශ්‍ය බවයි. මහඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා ඊට එකඟතාවය පළකළා" යයි නීතිවේදී ගෝමින් දයාසිරි බීබීසී සංදේශයට පැවසීය.

අනාගතයේදී ප්‍රධාන ලේකම්වරිය ඉවත්කිරීම හෝ මාරු කිරීම පිළිබඳව තීන්දු ගැනීමේදී ගැටුමකින් තොරව සුහදව එම කාර්යය සිදුකළ හැකි වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි අගවිනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් යෝජනා කර අධිකරණයට දැනුම් දෙන මෙන් මහඇමතිවරයාට අධිකරණය දැනුම් දුන් බව වග උත්තරකාර පාර්ශවයේ නීතිවේදී එම්.ඒ.සුමන්තිරන් සංදේශයට ප්‍රකාශ කළේය.

පෙත්සම ලබන විසිඅට වෙනි දින නැවත විභාගය සඳහා කැඳවීමට නියම කළ අධිකරණය අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එදින කරුණු දක්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කොට ඇත.