ආණ්ඩුකාරයා පත් කිරීම 'ජනපතිවරණය වෙනුවෙන්'

Image copyright president.gov.lk
Image caption පොරොන්දු කඩ කිරීම ජනාධිපතිවරයාගේ 'තනතුරට කැළලක්'

එළැඹෙන ජනාධිපතිවරණයකදී තමන්ට වාසිදායක තත්වයක් උදාකර ගැනීමේ අදහසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබෙන හැඩක් පෙනී යන්නේ යයි මහ ඇමති සිවී විග්නේශ්වරන් පවසයි.

උතුරු පළාතේ මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ, මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරි යලිත් වරක් උතුරු පළාතේ ආණ්ඩුකාර පදවියට පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

හමුදා කටයුතු වලට සම්බන්ධ නොමැති සිවිල් පුද්ගලයකු ආණ්ඩුකාර තනතුරට පත් කරන මෙන් තමන් ඉල්ලා සිටි අවස්ථාවේ, වැනි පුද්ගලයකු පත්කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි මහ ඇමති විග්නේශ්වරන් බීබීසී දෙමළ සේවයේ පී මානික්කවාසගම් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ.

'පදවියට අවමානයක්'

එහෙත් නැවතත් හිටපු ආණ්ඩුකාරවරයාම එම තනතුරට පත් කිරීම ගැටලුවක් වී ඇති බවත් මහ ඇමති විග්නේශ්වරන් පැවසීය.

වත්මන් රජය සෑම දෙයකින්ම දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් බව ඔහු පැවසීය.

"පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේදීත් ආණ්ඩුකාරවරයා ආණ්ඩුව ජයග්‍රහණය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ බව කවුරුත් දන්නා කරුණක්. ඉතින් ඉදිරි ජනාධිපතිවාරණයකදී වාසිදායක පරිසරයක් සලසා ගැනීමේ අටියෙන් මේ පත්වීම සිදු කර ඇති බවයි මම විශ්වාස කරන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය.

උතුරු පලාතට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බව පවසන මහ ඇමතිවරයා, පොරොන්දු කඩ කිරීම මගින් ජනාධිපතිවරයා සිය පදවියට අවමානයක් සිදු කොට ඇති බවද කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර