ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රතිපත්ති ප්‍රකාශනය: පෙත්සම විභාග නොකෙරේ?

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තහනම් කරන මෙන් ඉල්ලා සිංහල සංවිධාන ඉදිරිපත් කර ඇති පෙත්සම තවදුරටත් විභාග කිරීමේ පලක් නොමැති බව අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් බෙදුම්වාදය පෝෂණය වන බව පවසමින් සිංහල සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම කැඳවු අවස්ථාවේදීයි අගවිනිසුරුවරයා එසේ කියා සිටියේ.

බෙදුම්වාදය

උතුරු පළාත් සභාව දැන් සාර්ථකව ක්‍රියාත්මක වන බව කී අගවිනිසුරුවරයා එබැවින් මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමෙන් පලක් නොවන බවයි කියා සිටියේය.

වගඋත්තරකාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳව අදහස් පළකර ඇති බවයි.

ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවයි එම නිතිවේදීන් කියා සිටියේ.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් රට බෙදා වෙන්කිරීමක් පිළිබඳව කතා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්වන්නේ නම් මෙම නඩුව අවසන් කළ හැකි බව අගවිනිසුරුවරයා යෝජනා කළේය.

දිවුරුම් ප්‍රකාශයක්

එම යෝජනාවට තමන් එකඟතාව පලකල බවයි දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී එම.ඒ.සුමන්දිරන් කියා සිටියේ.

‘’ අධිකරණය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අපි එකඟතාව පලකළා. ඒ අනුව සැප්තැම්බර් 22 වනදා නඩුව කැඳවන අවස්ථාවේ මේ බව සනාථ කරන දිවුරුම් ප්‍රකාශයක් ලබාදී නඩුව අවසන් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා’’

උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වන නිසා පෙත්සම් තවදුරටත් විභාග කිරීමෙන් පලක් නොවන බවට අගවිනිසුරුවරයා කල ප්‍රකාශය පිළිබඳව තමා එකඟ නොවන බව පෙත්සම ගොනු කළ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර පැවසුවේය.

‘’පුද්ගලයන් කරන ප්‍රකාශ අපට වැදගත් නැහැ. මුලින්ම දෙමළ සන්ධානය අධිකරණයට ඉදිරිපත්කරන දීවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු අපි අධ්‍යයනය කළ යුතුයි. ඉන් පසුව තමා දෙමළ ජාතික සන්ධානය කියන කරුණු පිළිබඳව අපට අවසන් තීරණයක් ගත හැක්කේ ‘’

ඒ අනුව වැඩිදුර කරුණු විමසීම ලබන සැප්තැම්බර් 22 වනදාට කල් තැබූ අධිකරණය එදිනට අදාළ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරන මෙන් දෙමළ ජාතික සන්ධානයට නියම කළේය.