ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන සිහිනය

දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ එක් අදියරක් අඟහරුවාදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එළඹෙන නොවැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට අරමුදල් රැස් කිරීම උදෙසා ළමා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වූ පුහුණු සැසියක්ද සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් එක්ව සිටි අතර මුදල් ගෙවා පුහුණු සැසියට සහභාගි වූ ළමා ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් දැනුම බෙදා දීමටත් ඔවුන් සමග එක්ව ක්‍රීඩා කිරීමටත් ක්‍රීඩකයෝ කටයුතු කළහ.

'දැකීම විශ්වාසයයි'

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ සිහිනය සැබෑ කර ගැනීම උදෙසා එම ක්‍රීඩකයන්ට සහයෝගය ලබා දීමේ වගකීම සියලු දෙනා සතු බව පැවසීය.

‘දැකීම විශ්වාසයයි’ යනුවෙන් අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් ඉරිදා පැවති අතර එහිදී ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ සිහිවටන ආම්පන්න වෙන්දේසි කිරීමක් සිදු විය.

එමගින් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් උපයා ගැනීමට හැකි වී තිබෙන අතර වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් හා දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක හෂීම් අම්ලා ලන්සු ඉදිරිපත් කර දෘශ්‍යාබාධිත ක්‍රිකට් අරමුදල තර කිරීමට උපකාරී වූහ.

සිහිනය

දෘශ්‍යාබාධිත ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුණින් සිටින ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කරන මෙම වැඩසටහන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට රුකුලක් මෙන්ම ධෛර්යක් ද වනු ඇති බවයි සංදේශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පරිපාලනය භාර කාල්ටන් බර්නඩ්ස් පැවසුවේ.

මෙම වැඩසටහන හරහා රුපියල් මිලියනයකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලැබී තිබෙන නමුත් ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට නම් රුපියල් මිලියන පහක පමණ මුදලක් අවශ්‍ය වන බව කණ්ඩායමේ නායක චන්දන සූරියාරච්චි කියා සිටියේය.

‘දැකීම විශ්වාසයයි’ වැඩසටහනේ හොඳම ප්‍රේක්ෂකයා තේරීම තරගයක් ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුර අන්තර්ජාලයේ ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.