ජවිපෙ නායකයා බේරුනේ 'වායු බැලුන නිසා'

හදිසි රිය අනතුරකට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගමන් කළ කැබ් රථයේ වායු බැලුන නිසි පරිදි ක්‍රියාත්මක වීම නිසා ඔහුට බරපතල තුවාල සිදු වී නැති බව රත්නපුර පොලිසිය පවසයි.

පානදුරේ සිට රත්නපුර හරහා බදුල්ල බලා යමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රැගත් කැබ් රථය සඳුදා රත්නපුර පොලිස් වසමේ හොලිපිටියේදී අනතුරට ලක් විය.

ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයකට ඉස්සර කිරීමේදී ඉදිරියෙන් ආ තවත් ටිපර් රථයක් සමග මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

රත්නපුර මහ රෝහලට ඇතුලත් කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සහ ඔහු සමග කැබ් රථයේ ගමන්ගත් තැනැත්තෙක් ප්‍රතිකාර වලින් පසු පහසුව තකා කොළඹට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේය.

මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නැති බවද එම ප්‍රකාශකයා සඳහන කළේය.

ටිපර් රථයේ රියදුරුද ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කොට තිබේ.

ටිපර් රථයේ සහ දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් කැබ් රථයේ රියදුරා සාමාන්‍ය තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර