ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සැණකෙළිවලින් 'රට ගොඩ නගන්න බෑ'

ජාතිවාදය එපා! සිංහල, දෙමළ, මුස්ලිම් අපට එක්ව ඉන්න ඉඩ දෙනු! මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කොට තිබුණු සහෝදරත්වයේ සතිය සාමකාමී පාගමනක් සහ රැළියකින් අනතුරුව ඉරිදා අවසන් විය.

සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සහෝදරත්වයේ රැලියට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිවිල් සංවිධාන කිහිපහක නායකයෝ එක්ව සිටියහ.

මාලිගාවත්ත පොලිසිය අසලින් ආරම්භ වූ සහෝදරත්වයේ පාගමන විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැති රැලියකින් සහ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති සංස්කෘතික ප්‍රසංගයකින් සමන්විත විය.

ජාතින් අතර සහජීවනය ඇති කිරීමේ වැදගත්කම දැනුවත් කිරීමේ වැඩසටහන්, චිත්‍ර ප්‍රදර්ශන සහ සංස්කෘතික වැඩසටහන් ගණනාවක් සහෝදරත්ව සතියේදී පැවැත්වීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු යොදා තිබිණි.

ජාතිවාදය එපා

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, එකමුතුව සඳහා ජනරැලිය, මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව, සමස්ත ලංකා හින්දු තරුණ සම්මේලනය, ජාතික භික්ෂු පෙරමුණ හා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක් සතිය අවසානයේ පැවති ජන රැලියට සහභාගි වූහ.

Image copyright LankaNewsWeb
Image caption 'ඇත්ත ප‍්‍රශ්නය යට ගහලා රාජපක්ෂලාට වෙන ප‍්‍රශ්නයක් උඩට ගන්න ඕන වෙලා තිබෙනවා'

ජන රැලියේ ප්‍රධාන දේශනය පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක: "නැවත ජාතිවාදයක්, ආගම්වාදයක් අපේ රටට එපා කියලා, අපේ රටේ සියලූ දෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටක් නිර්මාණය කළ යුතුයි කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පාගමන් ගියා, සමරු චිත‍්‍ර ප‍්‍රදර්ශනය කළා, පත‍්‍රිකා බෙදුවා, වීදි නාට්‍ය පැවැත්වුවා, දැන් අපි රැස් වෙලා කතාබහ කරනවා. මෙය තමයි අද අපේ රටේ තිබිය යුතු තරුණකම," යනුවෙන් පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා: "නමුත් ආණ්ඩුව අපේක්ෂා කරනවා නයිට් රේස්වලින්, රගර් සැණකෙළිවලින්, අභ්‍යවකාශය තරණය කිරීමට හදන රොකට් වැනි දෑ යොදාගෙන සිහින මවන තරුණයින්ගෙන් රට ඉදිරියට ගෙනියන්න," යයි කියා සිටියේය.

ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ සියලු ජාතීනට හිමි සමාන අයිතිය පිළිගැනීමෙන් පමණක් බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා භාෂාව, සංස්කෘතිය, ඇදහිලි සහ විශ්වාසයන්ගේ සම අයිතිය පිළිගන්නා රටක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටියේය.

අපි කාගෙත් රට

"සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ජනතාව මේ රටේ ජීවත්වෙනවා. ආර්ථිකයට හවුල් වෙනවා. මේ රටේ මියැදෙනවා. මේ මහ පොළවට පස්වෙනවා. මේ රට අපේ කාගෙත් රට. මේ රටේ ජනතාවගේ අනාගතය, උසස්කම රඳා පවතින්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සහ මැලේ සියලු දෙනා අතර ජාතික සමගිය ආරක්ෂා කිරීමෙන් පමණක්මයි," යනුවෙන්ද අනුර කුමාර දිසානායක ජාතික සමගියේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

රට තුල ජාතිවාදය පතුරුවා ආණ්ඩුව රට පාලනය කිරීමට උත්සාහ කරන බවට ජවිපෙ නායකයා ආණ්ඩුවට චෝදනා කළේය.

"ඇත්ත ප‍්‍රශ්නය යට ගහලා රාජපක්ෂලාට වෙන ප‍්‍රශ්නයක් උඩට ගන්න ඕන වෙලා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට කියන්න හදනවා ඔබලාගේ ප‍්‍රශ්නය රාජපක්ෂලාගේ ආර්ථික ප‍්‍රතිපත්තිය නෙවෙයි කියලා. සිංහල මිනිහගේ ප‍්‍රශ්නය දෙමළ මිනිසා, මුස්ලිම් මිනිසාගේ ප‍්‍රශ්නය සිංහල මිනිසා කියලා මතයක් හදනවා. මෙයට රජය සෘජුවම මැදිහත් වෙලා. ඒ නිසා යම් යම් කණ්ඩායම් කියනවා අපි නිල නොවන පොලීසිය කියලා," යනුවෙන්ද ඔහු ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කළ තමරා කුනනායගම්ද රැලියට එක්ව සිටියාය.