යාපනයේ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවයි

කොළඹ නගරයේ පැවති මාධ්‍යය වැඩමුළුවකට සහභාගි වීමට යමින් සිටියදී ගංජා රැගෙන ගිය බවට චෝදනා එල්ල වූ යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනාගෙන් තිදෙනෙකු අද අඟහරුවාදා දහවල් ප්‍රශ්න කිරීම පිණිස වවුනියාවේ ඕමන්ත පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මාධ්‍යවේදීන් තිදෙනා ප්‍රශ්න කරණු ලැබීය.

ඕමන්ත මුරපොල අසල සිටි හමුදා සෙබළෙකු වශයෙන් සැක කරන පුද්ගලයකු ගංජා සහිත සිගරට් පැකැට්ටුව මාධ්‍යවේදීන් ගමන් ගත් රථයට දමන ලද සිදුවීම, දුටු මාධ්‍යවේදියාගෙන් ඒ පිලිබඳ දිගින් දිගටම ප්‍රශ්න කළ බව නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ එක් මාධ්‍යවේදියෙකු සංදේශයට පැවසුවේය.

ඕමන්ත පොලිස් ස්ථානයේදී මාධ්‍යවේදීන්ගේ ගෞරවයට හානි වන අන්දමින් කටයුතු කල හා ඔවුන්ට තර්ජනය කර හිරිහැර කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීන් පිළිබඳ වූ පැමිණිල්ල බාර ගැනීමට නොහැකි බව පවසමින් ඕමන්ත පොලිසිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් සහකාර පොලිස් අධිකාරීවරයා පැය කිහිපයක් ප්‍රශ්න කළ බවයි යාපනයේ මාධ්‍යවේදීන් පවසා සිටියේ.

අධිකරණයට

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අගෝස්තු පළමු වනදා වාහනයේ රියැදුරුවරයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට මැදිහත් වන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි පොලිස් අධිකාරීවරයා, අවශ්‍ය වූවොත් ඉදිරි කාලයේදී මාධ්‍යවේදීන්ට පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දෙන බව පැවසුවේ යැයි මාධ්‍යවේදියෝ තිදෙනා කියා සිටියහ.

මේ පිළිබඳ පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වෙනත් පුද්ගලයෙකු විසින් මාධ්‍යවේදීන් ගමන් ගත් රථයට ගංජා දැමූ බවට කෙරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මාධ්‍යවේදීන්ව මෙම පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ වැරදි කරුවන් වශයෙන් නොව සාක්කි කරුවන් ලෙසින් බවයි.

ඕමන්ත පොලිස් ස්ථානයේදී මාධ්‍යවේදීන්ගේ කට උත්තරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් පිළිබඳ වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන අතර ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාධ්‍යවේදීන් ගමන් ගත් රථයේ රියැදුරුවරයා අගෝස්තු පළමු වනදා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත රෝහණ වැඩිදුරටත් පවසා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර