'මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ තීරණය වැරදියි'

මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතෙන් හමුවූ සමූහ මිනීවල ඉපැරණි සුසාන භූමියක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කොට මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සාවද්‍ය‍ යැයි මන්නාරම රදගුරු හිමිපාණන් ඇතුළු තවත් ආයතන තුනක් විසින් ලිපි මගින් අධිකරණයට දැනුම්දීම් දී තිබේ.

මන්නාරම පොලිසිය විසින් තිරුකේතීස්වරන් සමූහ මිනීවල සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම ලිපි ඉදිරිපත් කළ බවයි නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විවේකානන්දන් පුවිතරන් ප්‍රකාශ කළේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කුමක් පැවසුවද මෙම සමූහ මිනීවලේ යුද්ධය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ඇටසැකිලි තිබෙන බවට සාධාරණ සැකයක් ඇති බැවින් අධිකරණය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදු කළ යුතු බවට ඉල්ලීම්ද මෙම ලිපිවල අඩංගු බවයි නීතිඥ පුවිතරන් පවසන්නේ.

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් මෙන්ම මන්නාරමේ ප්‍රාදේශීය සභාවද, දිස්ත්‍රික් පුරවැසි කමිටුවද අධිකරණයට ලිපි ඉදිරිපත් කොට ඇති අතර ලිපිවල සඳහන් වන්නේ ගතවූ වසර 45 ක කාලය තුල මෙම සමූහ මිනීවල හමුවූ ප්‍රදේශයේ පොදු සුසාන භූමියක් තිබුණු බවට සාක්කි නොමැති බවයි.

අධිකරණ නියෝගය

Image copyright TamilNet

මේ අතර යුද්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරණ සංගමයේ මන්නාරම ශාඛාවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ මෙම සමූහ මිනීවල තුළ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු තිබෙන්නට ඉඩ ඇති බැවින් හමු වූ සහ ඉදිරියේදී හමු විය හැකි මළ සිරුරු සම්බන්ධයෙන් නිවැරදිව හඳුනා ගැනීමේ කටයුතු සිදු කළ යුතු බවයි.

මේ අවස්ථාවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිසිය පවසා ඇත්තේ මෙතෙක් හමුවූ මළසිරුරු 84 සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බැවින් සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගැන ස්ථිරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ සියලු ඉල්ලීම් ගැන සලකා බැලූ මන්නාරම දිසා විනිසුරුවරිය වන ආනන්දි කනගරත්නම්, ලබන ඔක්තෝබර 27 වෙනිදිනට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවත්, සෙසු තොරතුරු සනාථ කිරීමට හැකි සාක්කිත් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසයි පොලිසියට නියෝග කොට තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර