ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිනමාවට අබ සරණයි

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව සිනමා ,රුපවාහිනි,වේදිකා අධ්‍යක්ෂ, තිර රචක ආචාර්ය සෝමරත්න දිසානායක පවසයි.

තම බුද්ධිමය දේපල අයිතිය වෙනුවෙන් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස්‌ වැටලීම් වල නිරතව සිටින ආචාර්ය සෝමරත්න දිසානායක ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය රැක ගැනීම සදහා සියලු දෙනාගෙන් උදව් ඉල්ලයි .

මෑත කාලයේ පැමිණි සිංහල චිත්‍රපට රැසක් ව්‍යාජ ලෙස ඩි වී ඩි තැටි වලට පිටපත් කර විකිණීම සිදු කර ඇති බව කියා සිටි ආචාර්ය සෝමරත්න දිසානායක මේ නිසා සිනමාකරුවන් චිත්‍රපටයක් නිෂ්පාදනය නොකරන තැනට පැමිණ ඇති බවත් සදහන් කරයි.

සිනමා ශාලා වලට ඇදෙන ප්‍රේක්ෂකයන් මේ හේතුවෙන් සිනමාවෙන් ඈත් වන බව පෙන්වා දෙන ආචාර්ය සෝමරත්න දිසානායක පසුගිය දසවසර තුළ සිනමා ශාලා වැසි යාමට මෙය එක් හේතුවක් බවත් කියා සිටියි.

බීබීසී සිංහල සේවයේ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න ප්‍රදේශ කීපයක කළ සංචාරයේදී ජනතාව කියා සිටියේ, වසර ගණනාවකින් සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නොබැලු බවයි.

කැමරා ශිල්පියෙකු වන රුචිර නිශාන්ත කියා සිටියේ, චිත්‍රපටයක් සිනමා ශාලාවකට පැමිණි පළමු දිනයේම ව්‍යාජ පිටපත් කිරීම් සිදුවන බවයි.

මේ තත්වය හේතුවෙන් චිත්‍රපට කර්මාන්තය නැත්තටම නැතිව යන තත්වයක් උදා වී ඇති බව සදහන් කරන රුචිර නිශාන්ත පවතින නීතිරීති දැඩි කළ යුතු බව පෙන්වා දෙයි.