ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අනුර සේනානායකට උසාවියෙන් කැඳවීමක්

තර්ජනයට ලක් ව සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරියගේ ආරක්ෂාවට නිලධාරීන් ලබා දීම පිළිබඳ තීන්දුවක් දීම කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් කල් තබනු ලැබිණ.

එවැනි පියවරක් ගනු ලැබුණේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා විදේශගත වී සිටින හෙයිනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ කාර්යාලය අසල සැක කටයුතු අයුරින් ගැවසුණු පුද්ගලයින්ගේ ඡායාරූප කීපයක් නීතිඥ සංගමය අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම පුද්ගලයින් කවුදැයි සොයා බලා දැනුම් දෙන මෙන් ද අධිකරණය කොළඹ අපරාධ පොලිස් කොට්ඨාශයට නියම කළේය.

පොලිසිය මින්පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, ආරක්ෂාව සඳහා නිලධාරීන් ලබා දීමේ බලයක් තමන්ට නොමැති අතර එය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ කාර්යයක් වන බවයි.

පදනමක් නැති තර්කයක්

එහෙත් පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය නීතිඥ උපුල් ජයසූරියගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් ලබා දීම පමා කරමින් සිටින බවයි, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කියා සිටියේ.

‘දින ගනිමින් ප්‍රශ්නය කල් දැමීමේ උත්සාහයකයි පොලිසිය නිරත වී සිටින්නේ. පාතාල නායකයින්ට පවා පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා. 14000 ක් නීතිවේදීන් නියෝජනය කරන නායකයෙකුට ඇයි පොලිසියට ආරක්ෂාව ලබා දෙන්න බැරි ?’ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ප්‍රශ්න කළේය.

මේ අතර පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නිලධාරීන් ලබා නොදුන් නමුත් උපුල් ජයසූරිය නීතිවේදියාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජංගම මුර සංචාර , මාර්ග බාධක සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි කියා සිටියේ.

එහෙත් එම පියවර පිළිබඳ ව සතුටු විය නො හැකි බව සඳහන් කල නීතිවේදීහු තම සංගමයේ සභාපතිවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන මෙන් ඉල්ලීමක් කළහ.

එම කරුණු පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියම කළේය.

අධිකරණය තවදුරටත් පොලිසියට නියම කළේ එතෙක් නීතිඥ උපුල් ජයසූරියගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.