සබරගමු සරසවි සිසුවා ත්‍රස්ත මර්දන ඒකකයේ අත්අඩංගුවට

සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි චන්ද්‍රකුමාර් සුදර්ශන් නැමති සිසුවා සෙනසුරාදා දහවල් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම පිළිබඳව පලෙයි පොලීසිය තමන්ට දැන්වූ වූ සුදර්ශන්ගේ පියා වන කිළිනොච්චියේ, මුහමාලේ පදිංචි රාසයියා චන්ද්‍රකුමාර් ප්‍රකාශ කළා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ දී මීට දින කීපයකට ඉහත දී මැර ප්‍රහාරයකට ලක් වූ සුදර්ශන් සිසුවා කිලිනොච්චියේ මුහමාලේ පළාතේ පදිංචි අයෙකි

පහර කෑම නිසා තුවාල ලැබූ ඔහු බලංගොඩ සහ රත්නපුර යන රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබා ආපසු නේවාසිකාගාරයට ගිය අවස්ථාවේදී පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති බවයි සිසුවාගේ පියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සුදර්ශන් අත් අඩංගුවට ගන්නා ලද්දේ සබරගමුව විශ්ව විද්‍යාලය තුළත්, අනෙක් විශ්ව විද්‍යාල තුළත්, ජාතිවාදය පතුරුවා ලීමට කටයුතු කළ බවට පොලීසියට තොරතුරු ලැබුණු බැවින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

දේශපාලන වාසි

නමුත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය කියා සිටින්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් රජය විශ්ව විද්‍යාලය තුළ ජාති හා ආගම් භේද පතුරුවන බවයි.

පොලීසිය මගින් අත් අඩංගුවට ගත් සුදර්ශන් ශිෂ්‍යයා වහාම නිදහස් කරණ මෙන් රජයට බල කරන බවයි ශිෂ්‍ය සංගම් නිලධාරියා වැඩිදුටරත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර