ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාල සොරකමට විදේශ කටයුතු අමාත්‍යංශ සේවකයෙක් අත්අඩංගුවට

පසුගිය මාසයේ දකුණු කොරියාවේදී ජීවිතක්ෂයට පත් වූ අනුරාධපුර පදිංචිව සිටි අරුනින්ද ප්‍රභාකර විමලසිරිට අයත් රන්මාලය සහ රිදී මුද්ද තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන් වී තිබේ.

Image copyright AFP

මිය ගිය විමලසිරිගේ බිරිඳ ශාලිකා සඳමාලි ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශය, රාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු විදේශ අමාත්‍යංශයේ සේවකයෙක් බවයි පැවසෙන්නේ.

තානාපති සේවා තැපැල් මල්ලේ බහා එවූ බව පැවසෙන රන් මාලය උණු කර ගුළියක් බවට පත් කර තිබියදී කොළඹ හෙට්ටි වීදියේ සුප්‍රසිද්ධ රන් ආභරණ අලෙවි සැලකින් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසන්නේ.

මිල කළ නොහැකි

රන් මාලය විකුණා ලබා ගත් එක්ලක්ෂ හැත්තෑඑක් දහසක මුදල සැකකරුගේ බැංකු ගිණුමට බැර කර ඇති බව පසුව කළ පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

නමුත් රන් මාලය සමග එවා තිබූ රිදී මුද්ද සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර මියගිය විමලසිරිගේ බිරිඳ පවසන්නේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා පැළඳි එම මුද්ද තමාට මිල කළ නොහැකි හැඟුම්බර වස්තුවක් බවයි.

රටට විදේශ විනිමය සොයා දෙන පුද්ගලයන්ට විදේශ අමාත්‍යංශය දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙන් විමලසිරිගේ බිරිඳ ශාලිකා සඳමාලි විජේරත්න සංදේශයට අදහස් දැක්වූවේ දැඩි කල කිරීමකින් යුතුවයි.

'රටට සල්ලි සොයා දෙන පවුල් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් සිද්ධ නොවන පිළිවෙළට කටයුතු කරන්න කියලා' යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.