උපුල් ජයසූරිය කාර්යාලය අවට බුද්ධි අංශ නිලධාරීන්

Image copyright BASL
Image caption නීතිඥ උපුල් ජයසූරිය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියගේ කාර්යාලය අසල සැක කටයුතු ආකාරයෙන් රැඳී සිටි පුද්ගලයින් බුද්ධි අංශ නිලධාරීන් වන බව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණය හමුවේ කියා සිටියේය.

පසුගිය 31 වන දා උපුල් ජයසූරිය නිතිවේදියාගේ කාර්යාලය අසල සිටි පුද්ගලයින් තුන් දෙනා වෙනත් කාර්යයක් සඳහා එහි නිරත කර සිටි බුද්ධි අංශ නිලධාරීන් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වරයා වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට බලයක් තමා සතු නොවෙතත් ඔහුගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් විසිහත් දෙනකු දැනට යොදවා ඇති බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නීතිවේදියාට පෞද්ගලික ආරක්ෂාව සැලසීමට නිලධාරීන් ලබා දිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

‘ආරක්ෂාව ලබා දීමට පෙර තර්ජනවල ස්වභාවය පිළිබඳ ව බුද්ධි අංශ යොදා පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගත යුතුයි. එම වාර්තාව ලැබුණු පසුව නීතිය හාසාමය පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා නිලධාරීන් ලබා දීම පිළිබඳව

තීරණයක් ගනීවි’ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

උපුල් ජයසූරිය නීතිවේදියා පසුපස පුද්ගලයින් දෙදෙනෙකු ලුහුබැඳ ගිය ආකාරය දැක්වෙන ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති දසුන් ඔස්සේ තමන් ඒ ගැන නිරීක්ෂණය කළ බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන්ගේ අනන්‍යතාව සොයා ගැනීමට සුදානම් වූ අවස්ථාවේ උපුල් ජයසූරිය නීතිවේදියා කළ ප්‍රකාශයක් මත තමා පරීක්ෂණවලින් ඉවත් වූ බව කී නියෝජය පොලිස්පතිවරයා ඔහු සැම විටම අවංකව පරීක්ෂණ කල බවයි අධිකරණයට කියා සිටියේ.

ලක්ෂ ගණනින් මනාප

තමාට ඉහල ජන ප්‍රසාදයක් පවතින බවක් ද කියා සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානානයක, මැතිවරණයකට ඉදිරිපත් වුනොත් කොළඹින් තමන්ට මනාප ඡන්ද ලක්ෂ තුනකට වඩා ලබා ගත හැකි බවට අනාවැකියක් ද පළ කළේය.

මේ අතර උපුල් ජයසූරිය නීතිවේදියා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ශ්‍රීනාත් පෙරේරා කියා සිටියේ පොලිස් පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳව සැකයක් පවතින බවයි.

‘සැකරුවන් දෙදෙනෙකු ජයසූරිය නීතිවේදියා පසුපස ලුහුබැඳ ගිය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා. එහෙනම් ඔවුන් අත් අඩංගුවට නොගන්නේ ඇයිද යන සැකය මතු වෙනවා. නීතිවේදීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් ලබා දීමට පොලිසිය මේ තරම් මැලි වන්නේ කුමක් නිසාද යන ප්‍රශ්නය අපට මතු වෙනවා’ නීතිවේදී ශ්‍රීනාත් පෙරේරා කියා සිටියි.

පැමිණිල්ල විභාග කරන කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සඳහන් කළේ, උපුල් ජයසූරිය නීතිවේදියාගේ ආරක්ෂාව සඳහා පොලිසිය දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව අධිකරණය සෑහීමකට පත් වන බවයි.

පැමිණිල්ල නැවත ලබන 25 වනදා කැඳවීමට නියම කල අධිකරණය එදින ජයසූරිය නිතිවේදියාගේ ආරක්ෂාව පිළිබඳව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් කරුණු විමසන බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර