ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුව නැති ආදිවාසී දිනය

ආදිවාසීනට සිදුවන කරදර අවම කර ගැනිම සදහා උප්පැන්නයට හා හැදුනුම්පතට ආදිවාසි යන්න ඇතුළත් කරන ලෙස ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නියල ඇත්තන් ඉල්ලා සිටියි.

‘අපේ පාසල, රෝහල, පුදබිම, කම්හල, ආහාර ගබඩාව, උත්සව ශාලාව මේ ඔක්කෝම කැලය තමයි. නමුත් අපිට අද කැලය සීමා කරලා. අපි කවදාවත් ඝන කැලය විනාශ කරන්නේ නැහැ. අපි හේනක් කොටන්නෙත් ලඳු බිමකයි. කැලෑව තමයි අපේ නැදෑයා. නමුත් මේ වනවිට කැලයේ ඇවිදිමට සිමා පනවලා. මේ නිසා අපිට ගැටළු තිබෙනවා’ ඌරුවරියගේ වන්නිල ඇත්තන් පවසයි.

‘අපරාදේ මුදල්’

ලෝක ආදිවාසි දින සැමරුම දඹාන කොටබකිනිය වනගත මොරබැද්දේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඌරුවරිගේ වන්නිල ඇත්තන් කියා සිටියේ සංවිධාන රැසක් තමන්ගේ නම විකුණමින් තමනට හිමි ආධාර මංකොල්ල කන බවයි.

‘ලෝකයේ රටවල් 156ක් මේ උත්සවය සමරනවා. අපිත් පවත්වනවා. රජය මේකට සම්බන්ධ කර ගත්තානම් සාකච්ඡා 30ක් විතර කරනවා. සාකච්ඡා කරන්න නිලධාරීන් එක්ක වාහන 50ක් විතර කොළඹ ඉදල එනවා. අද මේ වැඩේ කළේ එක ඇමතුමකින්, අපි රජය සම්බන්ධ කර ගත්තා නම් අපරාදේ මුදල් නාස්ති වෙනවා’ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන් වැඩිදුරටත් කියා සිටියේය.

නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, හෙනානිගල, වාකරේ, උඩත්තව, යහන්ගල වැනි ප්‍රදේශ වලින් තම දිනය සැමරීම සඳහා ආදිවාසීහු දඹානට පැමිණියහ.