සරසවි සිසුවාම තුවාල සිදුකර ගෙන - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සබරගමුව විශ්ව විද්‍යාලයේදී චන්ද්රකුමාර් සුදර්ශන් ශිෂ්‍යයා මැර ප්‍රහාරයකට ලක්වී නොමැති බවත්, තුවාල ඔහු විසින්ම සිදුකර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

Image caption ජෙයෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ

එම තත්ත්වය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද පිළිගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

යාපනය පළාත ශිෂ්‍යයාගේ ගම් ප්‍රදේශය බැවින් සබරගමුව විශ්ව විද්‍යාලය තුල ජාතිවාදී ගැටුම් ඇති බව පෙන්වා යාපනය විශ්ව විද්‍යාලයට මාරුවීමට ඔහු එසේ කළ බව පොලිස් පරීක්ෂණ හමුවේ කළ පාපොච්චාරණයකදී හෙළි වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.

ජාතිවාදය පැතිරවීම

පොලීසියට අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම, පොලීසිය නොමග යැවීම සහ රටේ ජාතිවාදය පැතිරවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ පොලීසිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට එරෙහිව නීති මගින් කටයුතු කරණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ.

නමුත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික කියා සිටින්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ එම ප්‍රකාශය සාධාරණ සහ පැහැදිලි සාක්කි ඔස්සේ ප්‍රතික්ෂේප කරණ බවයි.

සුදර්ශන් සිසුවාට පහර දෙන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ ඊට මීටර් දහයක් පමණ දුරින් සිටි වගද, ඔහු පහර කෑමට ලක්වීමෙන් පසුව කට උත්තරයක් දෙමින් මුහුණු වසාගෙන පැමිණි පස් දෙනෙකු තමන්ට පහර දුන් අන්දම පොලීසියට විස්තර කල බවද නජිත් ඉන්දික කියා සිටියේය.

විශාල සැකයක්

අලුයම තුනට පමණ පහරදීම සිදු වුවත් උදෑසන හත පමණ වනවිට කිසිදු පරීක්ෂණයකින් තොරව සමනළවැව පොලීසියත්, බලංගොඩ පොලීසියත් මෙම පහරදීම ඔහු විසින්ම කරගත් එකක් බවට සිසුන්ට කළ ප්‍රකාශය නිසා මේ ගැන විශාල සැකයක් ඇති බවයි නජිත් ඉන්දික පැවසුවේ.

Image caption චන්ද්රකුමාර් සුදර්ශන් ශිෂ්‍යයා

පොලීසියේ මෙම ප්‍රකාශය පිළිනොගැනීමට රටේ මෑත කාලයේ සිදු වූ සිදුවීම් ඕනෑ තරම් පෙන්වාදිය හැකි බව කී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වටරැක හිමියන්ගේ සිද්ධියද,ඇමතිවරයෙකු සමෘද්ධි නිලධාරියෙක් ගස් බැදීමේ සිද්ධියද, අධිවේගී මාර්ගයේදී පොලිස් භටයෙකු තම වාහනයට ගිනි තබාගෙන තමන්ට පහර දී ගත්තේ යැයි කියන සිද්ධියද උදාහරණ වශයෙන් පෙන්වා දුන්නේය.

සුදර්ශන් ශිෂ්‍යයාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පෙනී සිටින වග කී නජිත් ඉන්දික, මානව හිමිකම් කොමිසමට දැනටමත් මේ සිද්ධිය දන්වා ඇතැයිද කියා සිටියේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විරෝධය පලකිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට අඟහරුවාදා සවස සබරගමුව විශ්ව විද්‍යාලයේදී ආරම්භ වූ ශිෂ්‍ය සංගම් රැස්වීම රාත්‍රි නවය පමණ වනතුරුත් අවසන් වී නොතිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර