පොලිසිය සහ ‘පනෙයි අරුප්පාන් ’වාසීන්ගේ පුංචි යුද්ධය

මඩකලපුව කොක්කඩිචෝලයි ප්‍රදේශයේ 'පනෙයි අරුප්පාන් ’ ගම්මානයේ දී පොලිසිය හා ගම්වාසීන් අතර ඇති වූ ගැටුමට හේතුව අනවසර මත්පැන් වෙළෙඳාමක් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

එම ගැටුමේ දී පොලිස් භටයන් හත් දෙනෙකු හා සාමාන්‍ය වැසියන් හතර දෙනෙකු තුවාල ලැබ රෝහල් ගත කිරීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

තුවාල ලද සාමාන්‍ය වැසියන් හතර දෙනා අතර වෙඩි වැදීමෙන් තුවාල ලද කාන්තාවක්‌ හා ඇයගේ දියණිය ද වෙයි.

ගමේ නිවසක නීති විරෝධී ආකාරයට මත්පැන් විකුණන බවට ලද ඔත්තුවක් අනුව එම නිවසට ගිය පොලිසිය නිවසේ කාන්තාව අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ගම්වැසියන් හා පොලිසිය අතර ගැටුමක් ඇති වුන බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ.

එම කාන්තාව සහ ඇයගේ ඥාතීන් පොලිසියට පහර දී පොලිසියේ වාහනයකට ද ගිනි තබා ඇති බවයි පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ගැටුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වන බවයි ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

ගම්වාසීන් භීතියෙන්

Image caption ගිනිබත් පොලිස් වාහනයක්

ගැටුම සිදු වූ පනෙයි අරුප්පාන් ’ ගම්මානය තුළ පොලිසිය,විශේෂ කාර්ය සාධක බලකාය හා යුද හමුදාව යොදවා ඇති අතර ගම් වැසියන් බියෙන් නිවාස තුළට වී භීතියෙන් පසු වෙන බවත් ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග මගින් පැවසෙයි.

ගැටුම වාර්තා වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් එම ප්‍රදේශයට ගොස් කරුණු විමසා ඇත.

පනෙයි අරුප්පාන් ’ගැටුමේ දී පොලිසිය තමන්ට පහර දී වෙඩි තැබූ බව ගම්වාසීන් තමාට කියා සිටි බව පළාත් සභා මන්ත්‍රී ආර්.තුරෙයිරත්නම් පවසයි.

මෙම ගැටුමේ දී තුවාල ලද කාන්තාව මීට මාස හයකට පෙරත් පොලිස් පහර දීමක් හේතුවෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ඇති බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර ගම්වාසීන් විසින් තමන්ට පහර දෙනු ලැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් කාන්තාවන් ඇතුළු ගම්වාසීන් කීප දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට කැඳවා ඇති බවත් වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර